උදෑසනින්ම කුඹුරට නික්මුන ගොවි දරුවා ඉර මුදුන් වනතෙක් ඉතා වෙහෙස වී තනිවම වැඩ කලේය. දිවා ආහාරය කිසිවෙකුත් නොගෙනා බැවිනුත් කුසගිනි දැඩිව නැගුනු බැවිනුත් ආහාර ලබා ගැනීම පිණිස සිටු මැදුර වෙත පිටත් විය.
සිටු මැදුර වෙත ගිය නමුත් කලින් පෙනෙන්නට සිටි කිසිවෙකුත් දැක ගත නොහැකි විය. කුස්සියේ මෙහෙකරුවන් ඇතුළු බහුතරයක් දෙනා නොමැති බැවින් සිටි අයෙක්ගෙන් ඒ පිළිබඳ විමසා බැලුවේය. “ඇයි දරුව අද පසලොස්වක පොහොය දිනයනෙ? සියළු දෙනාම උදෙන්ම කල හැකි සියල්ල කර තබා පෙහෙවස් සමාදන්වීම පිණිස පන්සලට ගියානේ” යැයි පිළිතුරු ලැබිණි. එවිට පාරමී පුරමින් එන බෝධි සත්වයන් වහන්සේට වහාම පහල වූ කල්පනාව වූයේ “මෙතරම් සෙනඟක් සමාදම් වන යමක් ඇත්නම් ඒකාන්තයෙන්ම ඉතාම උතුම් දෙයක් වියයුතුමය. එසේනම් විස්තර අසා මටත් සමාදම් වීමට හොඳයි නේ” යනුවෙනි.
ඉන්පසු පෙහෙවස් සමාදම් වීම යනු කුමක්දැයි විස්තර සහිතව අසාගත් අප මහා බෝධිසත්වයෝ ඉර අවරට යෑමෙන් පසු ආහාර ගැනීමත් නුසුදුසු බව දැන, තමාගේ දිවා ආහාරය පවා ප්‍රතික්ෂේප කරමින් තමාම පෙහෙවස් සමාදන් වී සිටු මැදුරේ පිළේ වාඩිවිය. දවසින් භාගයක්ම ඉතා වෙහෙස වී සිටි බෝධිසත්වයෝ ආහාර නොමැති කමෙන් අඩ හෝරාවක් පමණ වන විට ඉතාම ආසාධ්‍ය තත්වයට පත්වී නමුත් තම ශීලය ගැන සතුටින් වැටී සිටියහ.
මෙම අවස්ථාවේ රටේ රජතුමා හා බිසව දිව්‍යමය සිරියකින් යුතු පෙරහැරකින් ඇතු පිටින් වීදි සංචාරයක් කරමින් එම සිටු මැදුර ඉදිරිපිටින් යාමට ආවේය. අප බෝධි සත්වයෝ තව දුරටත් දුබල වෙමින් සිටි අතර එම පෙරෙහැරේ පැමිණෙමින් සිටි රජ යුවල දෙස බලමින් සිය අවසන් හුස්ම හෙළුවේය.
පොහොය පෙහෙවස් සමාදන් වෙමින් දස කුශල කර්මයන්ගෙන් එකක් වන ශීලයේ පිහිටමින් සිටින අතර ඉතා ප්‍රසන්න චුතියක් ලත් එතුමාට ඊලඟ චිත්තක්ෂණයේදී ප්‍රතිසන්ධි චිත්තය පහලවූයේ පෙරෙහරේ ගමන්කරමින් සිටි රජ බිසවගේ කුසයේයි.
රජ යුවලගේ එකම දරුවා වූ බෝධිසත්වයෝ සිය පෙර භවයන් දැකීමේ ප්‍රඥාව පවා ලත්ව උපන්නේය. සිය පෙර භවයේ තමන්ගේ ඉතා දුක්ඛිත තත්වයත් දැන් තමා ලබා ඇති රාජ සම්පත්තියේ වෙනසත්, අභිනව තත්වය ලැබීම තමාට කෙසේ වූව්යේදැයි යන්නත් එතුමා ඉතා පැහැදිළිව දුටුවේය. ඉන්පසු රටේ රජ වූ අප මහා බෝධිසත්වයෝ අඩ හෝරාවක් පෙහෙවස් රැකීමෙන් තමා රාජ සම්පත්තිය ලැබූ අයුරු සිය රට වැසියාට පැහැදිළි කර දෙමින් බොහෝ සත්වයෝ පොහොය පෙහෙවස් සමාදම් කරවීමට පමණක් නොව නිති සිල් රැක්කවීමටත් සමත් විය. එයින් බොහෝ වැසියෝ පල ලබා ගැනීමට වාසනාවන්ත විය.
No comments:
Post a Comment