Saturday, March 2, 2013

ලෝක පාලක ධර්ම

ශ්‍යාමෝපාලි මහා නිකායේ ඌව පාර්ශ්වයේ මහානායක
ශ්‍රී සද්ධර්ම භාරතීශ්වරාචාර්ය මහෝපාධ්‍යාය
අඹේවෙල පඤ්ඤාසාර මහ නා හිමි


ලොව නිතර වෙනස් වෙයි. ලෝවැසියා ද ඒ අනුව වෙනස් වෙයි. එසේ පෙරලෙන වෙනස් වෙන ජන සමාජය ආරක්ෂා වීමට එක් සීමාවක් තිබේ. ඒ සීමාව ලෝක ධර්ම නමින් හැඳින්වේ. එයින් ලෝකයත් ජනතාවත් පාලනය වේ. “දෙව මේ භික්ඛවේ ධම්මා ලොකං පාලෙන්ති”යි තථාගත බුදුරජාණන් වහන්සේ දෙසූ පරිදි ලෝක පාලක ධර්ම දෙකකි. ඒවායින් මිනිස් තිරිසන් වෙනස රැකේ.
මිනිසා දෙමවුපියන්ට, ගුරුවරුන්ට, පූජ්‍ය පූජකවරුන්ට සලකයි. ඒ ඒ ඇත්තන් කෙරෙහි එක් එක් ආකාරයට හැසිරේ. හිතට එන හැම වචනයම නොකියයි කියන්න බැහැ. මෙතැන අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා. ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා යයි සිතා නොකියයි. හිතෙන හැමදේම එලෙසින් නොකරයි. මෙය කවුරුවත් මතක් කර දී නොවෙයි. ඉබේම සිදුවන්නකි. මෙලෙසින් පාලනය වන්නේ ලෝකපාලක ධර්ම නිසයි. මෙසේම නැන්දා – මාමා , ගුරු, ශිෂ්‍ය, සහෝදර, සහෝදරී, ස්වාමි සේවක, අඹුසැමි ආදීන් කෙරෙහි එක් එක් විදියට පවතින්නේ මේ ලෝක පාලක ධර්ම මිනිසා තුළ රැකෙන නිසයි.
රටේ හැම කෙනෙකුන් තුළම මේ ධර්ම ආරක්ෂා වෙතොත් දුෂ්චරිත කිසිදාක ඇති නොවේ. ලෝක පාලක ධර්ම පදනම් කොට සියලු ආචාර් ධර්ම පවතී. මෙම ධර්මද්වය දේව ධර්ම නමිනුත් හැඳින්වේ. ඒවා හඳුන්වා දෙන තථාගත බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක.
හිරිඔත්තප්ප සම්පන්නා
සුක්ක ධම්ම සමාහිතා
සන්තො සප්පුරිසාලොකෙ
දෙව ධම්මාති වුච්චරේ
මෙලොව, යමෙක් පව් කිරීමෙහි ලැජ්ජා බය දෙකෙන් යුක්ත වේද, කුසල ධර්මයෙහි ඇලුම් ඇත්තේද ශාන්ත වූ උතුම් වූ සත්පුරුෂ ගුණවලින් යුතු වූවෝ ද එසේ වූ වන්ගේ පැවැත්ම දේව ධර්ම නම් වේ.
එක්තරා සම්ප්‍රදායකට අනුව නරක දේ කලු පාටටත් හොඳ දේ සුදුපාටටත් ඇතුළත් කර තිබේ.ඒ අනුව ලෝක ධර්මය බෙදා දක්වන බුදුරජාණන් වහන්සේ කළු බණ දෙකකුත් සුදුබණ දෙකකුත් වදාළ සේක.
ද්වේමේ භික්ඛවේ ධම්මා, තණ්හා, අහිරිකංÀව අනොත්තප්පං ච, ද්වේ චෙ භික්ඛවෙ ධම්මා සුක්කා හිරිච ඔත්තප්පංච “ එයින් වදාළේ පව්කිරීමේ ලජ්ජා භය නැතිකම කලු බණයි. එහි ලජ්ජා භය ඇතිකම සුදුබණයි. මේ අනුව සියලුම අයහපතට ලජ්ජා භය, විළිබිය නැතිකම හේතු වේ. විලිබිය ඇතිකම සියලු යහපතට මුල් වේ.
එහෙයින් මේ ගැන හැම කෙනෙකු විසින්ම ඉතා හොඳ අවබෝධයක් ලැබිය යුතුය. බුදුදහමේ මේ ගැන නන් අයුරින් විස්තර ඇතුළත්ව තිබේ. පිරිසුදු ජලය එයට මිශ්‍රවන දේ අනුව වර්ණය, රසය, සුගන්ධය වෙනස් වේ. අපේ සිතත් ඒ වගෙයි. අපේ සිත ඉතා පිරිසුදුය. ඒ සමග යෙදෙන සිතුවිලි අනුව හොඳ වෙනවා නරක් වෙනවා. සිත නරක් වෙන්නේ නරක නපුරු පවිටු අකුසල් සිතිවිලි මීශ්‍රවීම නිසයි. වැරදි කිරීමට ලජ්ජා නැතිකම නම් වූ අහිරිත සිතිවිල්ලත් ඒ සදහා බිය නොවන අනොත්තප්ප සිතිවිල්ලත් වැටෙන්නේ අකුශල ගණයටයි. මේ හිරි ඔතප් (විලිබිය) දෙක විස්තර කරන තැන්වල
සභාව සණ්ඨිති, සමුට්ඨාන හේතු ලක්ෂණ අධිපති උපමා වශයෙන් කොටස් පහකට බෙදා විස්තර කෙරේ.
සභාව සණ්ඨිති:– සතුන් මැරීම, සොරකම් කිරීම ආදි වරදක් කිරීමට අවස්ථාවක් පැමිණි විට “මේ වරද කිරීමෙන් මගේ ආත්ම ගෞරවයට හානියක්, කැලලක් වෙනවා. ඒ නිසා මේක මට නොගැලපේ” ආදි වශයෙන් තමන් තුළ පහළවන හැඟීම පිළිකුල මේ හිරියේ ස්වභාවයයි. මල මුත්‍රාපහ කිරීම් වැනි දේ ආචාරශීලිව කව්රුත් රහසිගතව තනියෙන් කරති. එවැන්නක් කරන විට කවුරු හෝ කෙනෙක් දුටුවොත් එයින් පෙලීමකට, හැකිලීමකට පත්වීම ඉබේටම සිදුවෙන දෙයකි. මෙසේ ඇතුළතින් ඇති වෙන හැකිලීම ලජ්ජාව නම් වේ. එමෙන්ම දුශ්චරිතයක් කිරීමට අවස්ථාවක යෙදුන විට මේ විදියේ පහත් වැඩ කිරීම මා වැනි අචාරශීලි කෙනෙකුට නොගැලපේ යයි සිතා එයින් වැළකී සිටීම ඔත්තප්ප නම් වේ. වරදක් කිරීමට අවස්ථාවක් පැමිණි විට කර්මය,පුනර්භවය විශ්වාස කරන ප්‍රාණඝාතාදිය කිරීමෙන් මරණින් මතු අපාගත වී නන් වැදෑරුම් දුක් කම්කටොලු විඳින්නට සිදුවෙන බව සිතා වරදින් වළකී.
සමුට්ඨාන හේතු :- ඇතුළතින් ඇතිවෙන ලජ්ජාව කරුණු හතරක් නිසා ඇතිවේ. ස්වකීය ජාතිය, වයස, සූරබව, උගත්කම යන කරුණු මෙනෙහි කොට වරදින් මිදේ. පව්කම් වැනි වැරදි වැඩක් කිරීමට අවස්ථාවක් එළඹී විට මෙසේ සිතයි. “ පහත් වැඩ කිරීම, හීන දීන පව් කිරීම, පහත් ජාතිකයන්ට අයත් කාර්යයකි. ආර්ය සිංහල ජාතියට අයත් මට මෙවැනි වැරදි වැඩ කොහෙත්ම නොගැලපේ. මා කෙසේද අන්සතු දේ ගන්නේ,අසල්වැසියන්ට කරදර කරන්නේ, මා කොහොමද මත්ද්‍රව්‍ය පාවිච්චි කර උම්මත්තකයකු මෙන් හැසිරෙන්නේ, ප්‍රසිද්ධියේ අසභ්‍ය වචන කියන්නේ, ගතු කේලම් කියමින් ඔවුනොවුන්ගේ චරිත ඝාතනය කරමින් ඔවුනොවුන් කොටවන්නේ, මෙලෙස ස්වකීය ජාතිය ගැන සිතලා වරදින් වළකී.
පව් කරන්නේ වැරදි වැඩ කරන්නේ ලාබාලයෝය. යමක් කමක් නොතේරෙන අය කරන දේ මා වැනි වැඩිහිටියෙකුට සුදුසු නැත. අසල්වැසියන්ට කරදර වන විදියට මගේම ගෙදර වුණත් මා හැසිරීම නුසුදුසුය. මත්පැන් පානය කොට පහත් විදියට හැසිරීම් තරුණ වයසේ වැඩිහිටි වියේ වෙසෙන මා වැන්නෙකුට කොහෙත්ම නොගැලපෙතැයි තමන්ගේ වයස ගැන සිතා වරදින් වළකී.
තමන්ගේ සුරවීර භාවය සලකා වරදින් මිදීම තවත් ක්‍රමයකි. මා කාය ශක්තිය පුරුෂ ධෛය¸ය ඇති කෙනෙකි. මා වැනි අය ඩාදිය මහන්සියෙන් දෑතේ සවිශක්තියෙන් ජීවත් විය යුතුය. හොරකමෙන්, වංචාවෙන්, දූෂණයෙන් , කපටිකමෙන් හම්බ කිරීම වැනි පුරුෂ ධෛර්යය ඇති කෙනෙකුට නුසුදුසුයයි සලකා වරදින් මිදේ. “ මා වැනි කෙනෙකු කාර්යාලයේ සේවා ස්ථානයේ වැඩ නොකර නිකං ඉඳීම කොහෙත්ම නොහොබිනේ යයි සලකා වරදින් මිදේ.
තවත් ස්වකිය උගත්කම ගැන සලකා වරදින් මිදීමයි. ජීවත්වීමට තරම් ශිල්ප ශාස්ත්‍ර උගත් මා වැනි අයට පහත් වැඩ කිරීම නුසුදුසුය. තැන්තැන්වලට වී නිෂ්ඵල කථා කරමින් කාලය කා දැමීම සුදුසු නැත. අනුන්ගේ වතු කොටුවල ඇති කෙහෙල් කැන, තැඹිලි ගෙඩිය සොරකම් කිරීම සුදුසු නොවේ යයි සලකා වරදින් මිදේ. මෙසේ වරදක් කිරීමට අවස්ථාවක් එළඹි කළ ස්වකීය ජාතිය, සූරබව, උගත්කම ගැන සිතා වරදින් මිදේ. මෙලෙසින් ලජ්ජාව උපදින්නේ තමන් තුළින්මයි. ඔත්තප්ප (පව් කිරීමේ බිය) පිටතින් ඇති වෙන එකකි. පව්කම් කරන අයට සීලාචාර අය නින්දා කරතියි පිටතින් පැමිණෙන නින්දා අපහාස ගැන සලකා එයට බියෙන් වරදින් මිදීම ඔත්තප්ප නම් වේ. ඒ බිය ඇතිවීමට හේතුවන කරුණු හතරකි. සීලය, දේශය, ප්‍රඥාව තත්ත්වය වශයෙනි.
“මා තිසරණ පන්සිල් රකින බෞද්ධයෙකු වශයෙන් පෙනී සිටින කෙනෙකි. අනුන්ට හිංසා කළොත් ලෝ වැසියන් මට නින්දා කරතැයි බියෙන් වරදින් මිදේ. තමන් වාසය කරන රට පළාත ගැන මෙනෙහි කරමින් පව්කම්වලින් වළකී. ලාංකිකයන්ට එලෙසින් සිතීමට කරුණූ තිබේ. අපේ රට සම්මා සම්බුද්ධ ශාසනයේ කෙළවර දක්වා බුදුසසුන පවතින රටකි. තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන මොහොතේත් දුටු රටකි. ධර්මද්වීපය යන නාමය ලැබූ රටකි. මේ රටේ ජීවත් වෙමින් ලාමක වැඩ,පව්කම් කිරීම සුදුසු නැත. මේවා කළොත් ලෝ වැස්සෝ අවමන් කරයි. ආදි වශයෙන් සලකා අවමානයට බියෙන් වරදින් මිදේ.
මේ ගමේ ශිල්පශාස්ත්‍ර දැන උගත් පඬිවරු, සිල්වත්, ගුණවත් පැවිදි නොපැවිදි උතුමෝ, සමාජයෙන් උසස් තනතුරු දරන ප්‍රභූ®වරු, සමාජ සේවකයෝ සමාජ, සෝධකයෝ වෙසෙති. මේ ගමේ වෙසෙමින් නරක නපුරු නස්පැත්ති වැඩ කළොත් ඒ උතුමන්ට නිග්‍රහයකියි සිතා වරදින් මිදේ.
සමාජයේ තමන්ට හිමි වී තිබෙන තත්ත්වය, තමාගේ දැන උගත්කම, පලාත්වාසීන් තමන්ට දක්වන ගරු සැලකිලි, තමන් ගැන පැතිරී තිබෙන කීර්තිය, තමන් දරන තනතුර,පදවිය, ගෞරවය ගැන සිතා මෙවැනි පහත් වැඩකිරීම, මට මගේ තත්ත්වයට කොහෙත්ම නොගලැපේ යයි සිතා වරදින් මිදේ. වරදක් කිරීමට පෙළඹෙන විට අවට තත්ත්වය ගැන සිතා වරදින් වැළකීම ඔත්තප්ප සමුට්ඨාන නමින් හැඳින්වෙනවා. එලෙසින් තමා ගැන සලකා වරදින් මිදීම හිරියයි. අවට ගැන සලකා වරදින් මිදීම ඔත්තප්පයයි.
තවද මෙහි ලක්ෂණ දෙකක්ද පවතී. “සස්සතිස්සව ලක්ඛණ, හිරි වජ්ජ භීරුක භයදස්සාවි ඔත්තප්ප” සඳහන් පරිදි තමන් ගරු කරන සලකන අය ගැන සිතා වරදින් මිදීම සප්පතිස්සච ලක්ෂණයයි. එහි ආකාර හතරක් පවතී. ජාතිය, ශාස්තෘවරයා, දායාදය, බ්‍රහ්මචර්යාව වශයෙනි.

සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ ශික්ෂා ගරුකව ජීවත් වෙනවා. ගිහි උදවියද පිළිවෙත් රකිති. එලෙසින් තමා අයත් ජාතිය තමන් ගරු කරන තෙරුවන සාක්ෂියට තබාගෙන වරදින් මිදෙනවා. අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවන සේ ජීවත් වේ. කවුරුත් මේවා ආදර්ශයට ගත යුතුවේ

තමාගේ ජාතියේ මහන්තත්වය, උත්තරීතර භාවය, උදාරත්වය ගැන සලකා වරදින් මිදීම එක් ක්‍රමයකි. ඒ මෙසේය. මා අයත් ආර්ය සිංහල ජාතියට සමබන්ධ නොයෙක් තරාතිරමේ උතුමන් වාසය කළා. පණ්ඩුකාභය, පරාක්‍රමබාහු වැනි රණ සූරයන්ද දුටුගැමුණූ සද්ධාතිස්ස වැනි සැදැහැවතුන්, සිරිසඟබෝ වැනි බෝසත් ගුණ ගරුකයන්, පණ්ඩිත පරාක්‍රමබාහු වැනි ධර්මශාස්ත්‍ර විශාරදයන් බිහි කළ උතුම් ජාතියකි.බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමට වරම් ලත් ජාතියට අයත් මා වැනි කෙනෙකුට පව්කම් හීන දීන පහත් වැඩ කොහෙත්ම නොගැළපේ.මේවා කිරීමෙන් දෙමවුපියන්ට මුතුන් මිත්තන්ට වන අගෞරවය ගැන සිහිකොට වරදින් මිදේ.
ඇතැම් අන්‍යාගමිකයෝ බුදුරජාණන් වහන්සේටත් නිගා කරති’යි තම ශාස්තෘන් වහන්සේ ගැන සිතා වරදින් මිදිය හැකියි. මගේ ශාස්තෘන් වහන්සේ ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේය. මා මෙලෙසින් පහත් වැඩ කළොත් උන්වහන්සේටත් අත්වන්නේ අවමානයකැයි සලකා වරදින් මිදිය හැකිය.
තවද දායාද මහන්තත්වය ගැන සලකා වරදින් මිදිය හැකිය. මා තථාගත බුදුරජාණන් වහන්සේ වදාළ නෛර්යාණික සද්ධර්මය දායාද කොට ඇති කෙනෙකි. ලොව අන් කිසිවෙකුට නැති ඒ ශාන්ත ධර්මය අයත් මට දුසිරිත් නොහොබී.ඒ නිසා මා සියලු වරදින් මිදිය යුතු යයි සලකා දුසිරිතෙන් මිදිය හැකියි.
එසේම බ්‍රහ්මචර්යා මහන්තත්වය ගැන සලකා වරදින් මිදිය හැකිය. මගේ අත්‍යුත්තම ශාස්තෘවර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අතර සැරියුත් මුගලන් ආදි ආය¸ මහා සංඝරත්නයද, අනේපිඬු සිටුතුමා,විශාඛා උපාසිකා වැනි මහා උතුමෝ ද වූහ. ඒ පරපුරට ද සම්බන්ධ මා වරද කිරීමෙන් ඒ පිනැතියන්ටත් කරන්නේ අවමානයකැයි සිතා වරදින් මිදිය හැකියි.
මෙලෙසින් කල්පනා කරන සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේ ශික්ෂා ගරුකව ජීවත් වෙනවා.ගිහි උදවියද පිළිවෙත් රකිති. එලෙසින් තමා අයත් ජාතිය තමන් ගරු කරන තෙරුවන සාක්ෂියට තබාගෙන වරදින් මිදෙනවා. අනුන්ට කරදරයක් හිරිහැරයක් නොවන සේ ජීවත් වේ. කවුරුත් මේවා ආදර්ශයට ගත යුතුවේ.
මුලින් සඳහන් කළ කරුණුවලින් සිවුවැන්න ආධිහාස්‍යය හෙවත් අධිපති කමයි හිරිය තමන් අධිපති කොට ඇතිවන එකකි. ඔත්තප්ප ලෝකයා හෙවත් අන්‍යයන් අධිපතිකොට ඇත්තකි. හිරිය සඳහා බලපාන්නේ තමාමයි.ලෝවැස්සන් ඔත්තප්ප සඳහා බලපායි.
ආත්ම ගෞරවය හැම කෙනෙකුගේම තත්වය ආරක්ෂා වීමට හේතුවේ. ඒ සඳහා තමා තුළ පිහිටි යම් යම් කරුණු බලපායි. එහෙයින් බොහෝ දෙනා තමාගේ අග හිඟකම් නැති බැරිකම් පිටතට නොපෙනෙන සේ ක්‍රියා කිරීමට වගබලා ගනිති. එලෙසින් සබ්‍රම්සරුන් වහන්සේ නමක් ‘ මම සම්බුදු සසුනේ උතුම් පැවිද්ද ලැබ ලෝවැසියන්ගේ වැඳුම් පිදුම් ගරු සැලකිලි ලබන කෙනෙකි. බුදුදහම දෙසන කෙනෙකි. එවන් මා වැනි කෙනෙකු හීනදීන පහත් වැඩ අකුසල කර්ම කිරීමට නොගැළපේ” යන සිතුවිල්ල තමා තුළ ඇති පව්කම්වලින් වැළකී ගිහියෙකු වශයෙන් බලන කල “මා සමාජයේ උසස් මට්ටමක වෙසෙන ගුරුවරයෙක්, වෛද්‍යවරයෙක්, නිලධාරියෙක්, සමාජ සේවකයෙක්. එවන් මා වැන්නෙකු පහත් වැඩ, දුශ්චරිත කිරීම නුසුදුසු ය”යි තමා තුළින්ම ලජ්ජාව ඇතිවී පව්කම්වලින් වළකී.
‘ලෝකයේ බලපෑම නිසා ඔත්තප්ප ඇතිවේ’ මේ ලෝකය ඉතා විශාලයි.ලොව වෙසෙන අයත් ප්‍රමාණ කළ නොහැක. ඍද්ධිවන්ත පුද්ගලයන්, ශ්‍රමණ බ්‍රාහ්මණ දෙව් බඹුන් කොතෙකුත් වෙසෙති. මා කොතරම් හොරෙන් පව්කම් කළත් ඒ උතුමෝ මා කරන පහත් වැඩ දැක මට නින්දා කරති. ඒ ඇරත් මා කළ වරද දැන ගන්නා සියල්ලෝම මට අවමන් කරතැ”යි බියෙන් වරදින් මිදේ.
එලෙසින් නැතිවෙන බිය සිවු ආකාරය,අත්තානුවාද, භය, පරානුවාද භය,දණ්ඩභය, දුග්ගති භය වශයෙනි. තමන්ම තමන්ට කරන චෝදනාවට බියෙන් වරදින් මිදීම අත්තානුවාද භය නම් වේ. වෙළෙන්දෙක් පාරිභෝගිකයාට නොදැනෙන සේ හොරට කිරීම, මැනීම ,සොරකම් කිරීම කරයි. පරස්ත්‍රී පරපුරුෂ සේවනය කරයි.මේ ආදිය කාටත් හොරෙන් කළත් තමන්ගේ හිත දනී. ඒ සිත තමාට චෝදනා කරයි. ඔබ සමාජ සේවකයෙක්. සත්ගුණවතෙක් වගේ මහජනයා ඉදිරියේ පෙනීසිටියත් ඔබ වැඩි හරියක් කරඇත්තේ වැරදි වැඩ.පව්කම් ඔබ පිටතින් කොතරම් පැලැස්තර දැම්මත්,ලෝවැසියන් රැවටුවත් ඔබේ ඇතුළත කුණූ ගඳ ගහනවා ආදි වශයෙන් තමන්ගේ සිත තමන්ටම චෝදනා කරයි. එම චෝදනාවට බියෙන් වරදින් මිදෙයි.
අනුන් කරන චෝදනාවට බියෙන් වරදින් මිදීම පරානුවාද භය නම් වේ. වැරදි වැඩ කරන විට එය දකින සීලාචාර බුද්ධිමත් අය චෝදනා කරති.මලගෙදර, සොහොන් පිටිය වැනි තැන්වලට කවුරුත් එන්නේ ඒ දුක ශෝකය බෙදා හදා ගැනීමටය. එහි පැමිණි කවුරු හෝ වේවා එහි සිදුවෙන ආගමික කටයුතුවලට පවා බාධාවන සේ බීමත්ව අසංවරව නොමනා විහිළු තහළු කරයි නම් ශීලාචාර උදවිය ඔවුන්ට චෝදනා කරති. එයට බියෙන් වරදින් මිදේ.
දඬුවමට බියෙන් වරදින් මිදීම දණ්ඩනය නමි.අනුනගේ කොටුවලින් එළවළු, තැඹිලිවලු, කෙසෙල් කැන් සොරකම් කර අහුවුනාම අයිතිකරුවන්ගෙන් ගුටිබැට කෑමට සිදුවේ. නීතියේ රැහැණට හසුවී හිරේ විලංගුවේ වැටෙන්නට සිදුවෙනවා. දඩ ගෙවන්නට වෙනවා. එවන් දඬුවම්වලට බියෙන් වරදින් මිදේ.
මරණින් මතු අපාගත වීමට බියෙන් වරදින් මිදීම දුග්ගති භය නම් වේ.දෙමවුපියන්ට වැඩිහිටියන්ට නින්දා අපහාස කරන්නන් , ගැටිබැට දෙන්නන්,අන්සතු දේ පැහැර ගන්නන්, සඟ සතු දේ කන බොන අය ,පන්සලේ දේ සොරකම් කරන අය, නිර්දෝෂී උතුමන්ට නින්දා අපහාස කරන, චරිත ඝාතනය කරන අය, මත්ද්‍රව්‍ය විකුණන පාවිච්චි කරන අය අනුන්ට කරදර හිරිහැර කරන අය අපාගත වන බව වටහාගෙන නරක තිරිසන්, පේ‍්‍රත අසුර නිකාය යන අපාදුකට බියෙන් වරදින් මිදීම දුග්ගතිභය නම් වේ.
තවද මේ හිරි ඔතප් දෙක උපමා වශයෙන් විස්තර කෙරේ. හිරිය හරියට අසූචි තැවරුණූ සිසිල් යකඩ බෝලයක් වැනිය. එය සිසිල් නිසා ඇල්ලුවොත් ශරීරයේ අසූචි තැවරේ. ඒ පිළිකුල නිසා කිසිවෙක් එය නොඅල්ලයි.
එලෙසින් සත්පුරුෂ ශීලාචාර අය දුසිරිත් කිරීමට යොමුවුව හොත් පිළිකුල නිසා එයින් වළකී.
ඔත්තප්පය ගින්නෙන් රත් වු යකඩ බෝලයකට සමානයි. එහි අසුචි නැතත් අල්ලන අයගේ අත පිච්චෙයි. එයට බියෙන් නොඅල්ලයි. එලෙසින් පව්කම්වලට බියෙන් බුද්ධිමත් සත්පුරුෂයෝ එයින් වළකිති.
විලිබිය දෙක මුල් කරගෙන කළ යුතු සියලුම කුසල ධර්ම සුදුබණ හෙවත් ශුත්‍ර ධර්ම නම් වේ. කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර යන සියලු කුසල් “යට අයත්වේ”.සන්තො සප්පුරිසා ලොකෙ, පූර්වොක්ත ගාථාවේ තුන්වෙනි පදයයි. විලි බිය ඇති අය කය වචන සිත යන තිදොරින් කරන ක්‍රියාවන් සන්සුන් නිසා සන්ත යන වදනය යෙදුනි. සප්පුරිසා (සත්පුරුෂයෝ) නම් කළගුණ සලකන, කළගුණ දැනීම ආදි ගතිවලින් යුතු පුද්ගලයා සත්පුරුෂයා නම් වේ. බුදු පසේබුදු මහ රහත් උතුමෝ අපේ අග්‍රගණ්‍ය සත්පුරුෂයෝ වෙති. කවුරුත් උන්වහන්සේලා අනුගමනය කළ යුතුය. උන්වහන්සේලා තුළ දේව ධර්ම සුරක්ෂිත වේ.
දෙවිවරු තුන් කොටසකි.සම්මුතිදේව,උත්පත්තිදේව, විසුද්ධිදේව , වශයෙනි.
මහා සම්මත කාලයේ පටන් ලෝකයා විසින් සම්මත කළ රාජ රාජකුමාර, කුමාරි වැනි අය සම්මුතිදේව නම් වේ.පින්දහම් කොට දෙව්ලොව උපන්නෝ උත්පත්ති දේවයෝය. විසුද්ධි දේව නම් බුදු පසේබුදු මහරහත් යන මහෝත්තමයන් වහන්සේලාය.
මෙකී ත්‍රිවිධ දෙවිවරුන්ගේ ධර්මය නිසා මෙම හිරි ඔතප් දෙක දේව ධර්ම නාමයෙන් හඳුන්වනු ලැබේ. දේව ධර්මවලින් යුතු පුද්ගලයාද දේව ධර්ම නාමය ලබයි.
සමාජයට අත්‍යවශ්‍ය ආචාර් ධර්ම ආරක්ෂා වීමටත් ලෝක සභ්‍යත්වය,ලෝක ශිෂ්ටාචාරය සුරක්ෂිත වීමටත් මහෝපකාරි වන්නේ,දේවධර්මයෝය. මේවා සමාජයෙන් හෙවත් අපේ සන්තානයෙන් යම් දිනෙක ගිලිහී ගියොත් එදාට මේ සමාජයෙන් අනිවාර්යයෙන් තිබිය යුතු ආචාර ගති කිසිවක් ඉතුරු නොවෙයි.
ගුරු දෙගුරු වැඩිහිටියන්ට අඹුදරුවන්ට සහෝදර සහෝදරියන්ට සලකන සිරිත් මිනිසා තුළින් ඉවත් වේ.මේවා අපේ සමාජයෙන් සෝදා පාලුවට යන බවක් පෙනේ.
එහි ප්‍රතිඵලය වන්නේ මිනිසා තුළින් තිරිසන් ගති මතු වීමයි.



මුළු ලොවෙහි අධිපතිකමටත් වඩා උතුම් සෝවාන් ඵලය

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ, 
මධ්‍යම පළාත් සංඝනායක, 
රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති 
අම්පිටියේ සිරිවිමල නා හිමි

මෙම උත්තරීතර තත්ත්වයට පත්වීමේ දී පුද්ගල සන්තානගතව තිබෙන සංයෝජන ධර්ම තුනක් සමූලෝත්පාඨනය වේ. එනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුනයි. ඒ සමඟම අපායගාමී අකුසල ශක්තිය ද ප්‍රහීණවෙයි. සෝවාන් පුද්ගලයා කිසිවිට සතර අපායට නොවැටේ. ඔහු සුගති භාවයෙහි ද සත්වරකට වඩා නූපදියි. අටවැනි භවයක් ඔහුට නැත. ක්‍රමයෙන් ප්‍රතිපදාවට වඩා ඔහු සසර කෙළවර දකියි


නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
පථව්‍යා ඒකරජ්ජේන
සග්ගස්ස ගමනේනවා
සබ්බ ලෝකාධි පච්චේන
සෝතාපත්ති ඵලං වරං

සුපින්වතුනි,
ලෝකය විවිධය, විසමය, ලෝ වැසියෝ ද විවිධ විසම චින්තා ඇත්තෝ ය. නානත්තකායා නානත්ත සඤ්ඤා යන ධර්ම පාඨයෙන් ද එය අවධාරණය කරනු ලබයි. කෙනෙක් එක් දෙයක් අගය කරති. තවකෙනෙක් වෙනත් දෙයක් අගයති. මෙලෙස ලොව යථාර්ථය නොදන්නෝ ලෞකික දේවල්ම අගය කරති. උසස් යැයි සලකති. ගේ දොර, ඉඩකඩම්, යාන වාහන, රන් රිදී, මුතු මැණික්, මිල මුදල් ආදී අචේතනික දේ පිළිබඳත්, දූ දරු නෑදෑ හිත මිතුරන් ආදී සචේතනික වස්තු පිළිබඳත් විවිධාකාරයෙන් අගය කොට කතා කිරීමට ඔවුහු පුරුදුව සිටිති. එපමණක් නොව තාන්න, මාන්න, ගරු නම්බු, ගෞරවනාම ආදිය කෙරෙහිත් ඔවුහු තදින් ඇලී සිටිති.
එහෙත් ධර්මයෙන් අපට අනුශාසනා කරන්නේ ඒවාට වඩා උත්තරීතර තත්ත්වයක් ලබාගැනීම සඳහා ය. ඉහත සඳහන් ගාථා ධර්මයෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි. එම ගාථාවෙන් දැක්වෙන අදහස මෙසේ ය. ‘සක්විති රජකම ලැබුණටත් වඩා ස්වර්ග ලෝකයට යෑමටත් වඩා, මුළු ලොවට දරන අධිපතිකමටත් වඩා සෝවාන් ඵලය ඉතා උතුම් ය.
පින්වතුනි, සක්විති රජකම මනුලොව ලැබිය හැකි උතුම් සැපතක් බව සැබෑය. සව් ඉසුරෙන් සපිරි සක්විති රජුට සප්තවිධ රත්නයක් ඔහුගේ පින් මහිමයෙන් පහළ වෙයි. චක්‍ර රත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගහපති රත්නය, සහ පරිණායක රත්නය යනුවෙන් එම රත්නයන් දැක්වෙයි. අතීත භවයන්හි කරන ලද කුසල කර්මවලට අනුව පහළවන මෙම සම්පත් අනුභව කරමින් ඓශ්චර්ය සාගරයෙහි නිමග්නව ඔහුට ජීවත් විය හැකි එහෙත් ඒ සියල්ල අස්ථිරයි. විනාශවන සුළු යි. සනාතව පැවතීමක් නැත.

ස්වර්ග ලෝකවල ඉපදීම ද සැපයක් බව සත්‍යයක්. කාමාවචර, රූපාවචර, අරූපාවචර කුසල බලයෙන් සවිසිවැදෑරුම් ස්වර්ග ලෝකවල උපත ලැබිය හැකි ය. සදෙව් ලොව, සොළොස් රූපාවචර බඹතල සහ සතර අරූපාවචර බඹතල සවිසි ස්වර්ග ලෙස දැක්වේ. මිනිස්ලොව ද ස්වර්ගයක් ලෙස සැලකීමෙන් සියල්ල සත්විසි ස්වර්ගයක් වශයෙන් ගත හැකි ය. ‘ඉනො භො සුගතිං ගචං’ යන පාඨයෙහි සුගතිය යනුවෙන් මිනිස් ලොව අදහස් කළ බව සැලකිය යුතු ය. මේ කවර ලෝකයක උපත ලැබුවත් ඒවා අස්ථිරයි. සදාකාලිකව නොපවතීවියි අනිත්‍ය ස්වභාවයට පත්වෙයි.
එසේම මුළු ලොවට අධිපති බව ලැබුවත් වැඩක් නැත. ඒ කිසි තැන ස්ථිර පැවැත්මක් නැත. සැකෙවින් සැලකීමේ දී ‘ලෝක’ නමින් දැක්වෙන කිසිදු තැනක සදාකාලිකත්වයක් විද්‍යාමාන නොවේ. නිර්වාණ ධාතුව ‘ලෝකුත්තර’ යන ව්‍යවහාරයෙන් හඳුන්වනු ලබන්නේ තත්ත්වයෙන් එතෙරව පවතින නිසායි. එය ස්ථිරය, සදාකාලිකය, සත්‍යයය.
එබැවින් යථෝක්ත ගාථාවෙහි සඳහන් ‘සොතාපත්ති ඵලංවරං’ යන පාඨය පිළිබඳ ඔබ අප සැමගේ විශේෂ අවධානය යොමුවීම වැදගත් ය. එයින් අදහස් කෙරෙන්නේ ලොව සියලු සැපයට වඩා සෝවාන්වීම අතිශයින්ම උතුම් බවය. මෙහි ‘සොත’ යන්නෙන් දැක්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය නමැති සැඩ පහරයි. එයට හසු වූ පුද්ගලයා, නතර වන්නේ උතුම් නිර්වාණ ධාතුව ප්‍රත්‍යක්‍ෂ කිරීමෙන් ය. ‘සොත’ වචනය වෙනත් අර්ථයන්හිද යෙදේ. පංච ඉන්ද්‍රියන් හැඳින්වීමේ දී චක්ඛු, සොතාදි වශයෙන් දැක්වෙන තැන ‘සෝත’ වචනය කර්ණේන්ද්‍රියට භාවිත වේ. ඡන්ද සෝතං පරක්තම්ම යන තැන තෘෂ්ණා නමැති සුඛ පහර යන අදහස් ගෙන දෙයි. සෝතාපත්ති යන තැන අරි අටඟි මග නමැති ප්‍රවාහය ගැනේ.
මෙම උත්තරීතර තත්ත්වයට පත්වීමේ දී පුද්ගල සන්තානගතව තිබෙන සංයෝජන ධර්ම තුනක් සමූලෝත්පාඨනය වේ. එනම් සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස යන තුනයි. ඒ සමඟම අපායගාමී අකුසල ශක්තිය ද ප්‍රහීණවෙයි. සෝවාන් පුද්ගලයා කිසිවිට සතර අපායට නොවැටේ. ඔහු සුගති භාවයෙහි ද සත්වරකට වඩා නූපදියි. අටවැනි භවයක් ඔහුට නැත. ක්‍රමයෙන් ප්‍රතිපදාවට වඩා ඔහු සසර කෙළවර දකියි. එසේවීම සඳහා සකදාගාමි, අනාගාමි සහ අර්හත් තත්ත්වයට අනුක්‍රමයෙන් පත්විය යුතු ය. කාම රාග, ව්‍යාපාද සංයෝජන ද්වය සකෘදගාමි විරෝධී දුර්වල වී අනාගාමි ඵල ප්‍රාප්තියේ දී සම්පූර්ණයෙන් ප්‍රහීණ වේ. අනතුරුව උතුම් අර්හත් භාවයට පත්වීම සඳහා උද්ධම්භාගිය සංයෝජන වශයෙන් දැක්වෙන රූප, රාග, අරූපරාග, මාන, උද්ධච්ච, අවිජ්ජා යන සංයෝජනයන් ප්‍රහීණ කළ යුතු වේ.
මෙසේ දස සංයෝජන ධර්ම සමුච්ඡේද වශයෙන් ප්‍රහීණ කිරීමෙන් අති උතුම් අර්හත්ඵල සංඛ්‍යාත ආර්ය භූමියට පත් වූ සදාකාලික සැනසිල්ල අත්පත් කර ගනී.
එබැවින් ප්‍රථම ආර්ය භූමිය වූ සෝවාන් ඵලයට පත්වීම යනු සක්විති රජකම ලැබීමටත්, දෙව් ලොව යෑමටත්, මුළු ලොවෙහි අධිපතිකමට පත්වීමටත් වඩා ශ්‍රේෂ්ඨ වේ. ඒ සඳහා අනුවාදීව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව කාරුණිකව සිහිපත් කරනු කැමැත්තෙමි.
පූර්වෝක්ත ගාථා ධර්මය අනේපිඬු සිටුතුමාගේ පුතණුවන් එනම් කාළ සිටුපුත් අරබයා දේශනා කළත් පින්වතුනි, අප සැමදෙනා වෙනුවෙන් දෙසන ලද්දක් බව සැලකිය යුතු යි. ඔබ අප මෙම භයානක සසරේ සැරිසරන්නේ උතුම් ධර්මාවබෝධය සාක්‍ෂාත් නොකළ නිසා ය. එබැවින් ලොව්තුරු සුවය පසක් කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපදා සම්පූර්ණ කරගත යුතු ය. ඒ සඳහා බුදු දහමේ අනු පූර්ව ප්‍රතිපදාවක් දක්වා ඇත එනම් සීල, සමාධි, ප්‍රඥාවයි ආර්ය අෂ්ටාංගික මාර්ගය වශයෙන් විභාග වන්නේ. මෙම ප්‍රතිපදාර්ථ වැඩි එම මාර්ගයේ ගමන් කිරීමෙන් උතුම් ලෝකෝත්තර සුවයෙන් සැනසිය හැකි ය. එය මුළු ලොවෙහි අධිපතිකම ලැබීමටත් වඩා ශ්‍රේෂ්ඨය.



මඩෙනුත් දියෙනුත් ඔබ්බට විත් සුපිපී සෞම්‍ය සුගන්ධය දසදෙස පතුරුවන්නා වූ පියුමක් සේ, කෙලෙස් භරිත ලෝ තුළම පහළ වූ නමුදු ක්ලේෂයේ නොතැවරී උත්තරීතර භාවයට පත් අධ්‍යාත්මීය ගුරුවරයාණන් උන්වහන්සේ ය. බුදු පියාණන් නිරන්තරව වදාළේ සිහියෙන්, වීර්යයෙන් හා නුවණින් කටයුතු කරමින් ඒ ඒ මොහොතේදීම කෙලෙස් ටික ටික හෝ ක්ෂය කර හරින ලෙසයි. ඒ සඳහා අප යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කළ යුතුය.
නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අනුපුබ්බේන මේධාවි
ථොකථොකං ඛණේ ඛණේ
කම්මාරො රජතස්සේව
නිද්ධමේ මල මත්තනෝ
(ධම්මපදය – මල වග්ගය)
රන්කරුවකු නොයෙක් උපක්‍රමයෙන් ස්වර්ණයෙහි මල ඉවත් කරන්නේද එලෙසින් නුවණැත්තා සිතේ බැඳෙන රාගාදි මල අනුක්‍රමයෙන් දුරුකරයි.
ස්වකීය චිත්ත සන්තානය තුළ ක්ලේශ මරුවන්ගේ සදාකාලික අභාවය සිදුකොට සසර ජයගත් භාග්‍යවතුන් වහන්සේ ලෝකයම කරුණා රසයෙන් හා විමුක්ති රසයෙන් නහවමින් ලෝ සත වෙත දහම් වර්ෂා වැස් වූ සේක. මඩෙනුත් දියෙනුත් ඔබ්බට විත් සුපිපී සෞම්‍ය සුගන්ධය දසදෙස පතුරුවන්නා වූ පියුමක් සේ, කෙලෙස් භරිත ලෝ තුළම පහළ වූ නමුදු ක්ලේෂයේ නොතැවරී උත්තරීතර භාවයට පත් අධ්‍යාත්මීය ගුරුවරයාණන් උන්වහන්සේ ය. බුදුපියාණන් නිරන්තරව වදාළේ සිහියෙන්, වීර්යෙන් හා නුවණින් (ආතාපි සම්පජානෝ සතිමා) ඒ ඒ මොහොතේදීම (තත්ථ තත්ථ විපස්සති) ක්ලේෂයන් ටික ටික හෝ දියාරුකර හරින ලෙසයි. (ථෝක ථෝකං නිවාරයේ) ඒ සඳහා අප යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කළ යුතුය.
ඇලෙන ගැටෙන ආකාරයට සිදුවන මනසිකාරයට අයෝනිසෝමනසිකාරය යන වචනය භාවිත කෙරේ. එම අයෝනිසෝමනසිකාරය මඟින් සිත තුළ ඇලීම ගැටීම වර්ධනය වී දුකට පත්වීම සිදුවේ. දුකින් විමුක්ත වීමට නම් ඇලීම, ගැටීම, වැළැකෙන ආකාරයට මනසිකාරය පුහුණු කළ යුතුමය. නොඇලෙන, නොගැටෙන ආකාරයට මනසිකාරය සිදුකෙරේ නම් එය යෝනිසෝමනසිකාරය නමින් හැඳින්වේ. එමඟින් සිත තුළ උපදින දුකින් විමුක්ත විය හැකිය.මෙහි සත්‍යතාව නුවණින් සිතා බලන විට දර්ශනය වේ. යමකුගේ සිත තුළ රාගය පවතින්නේ නම් ඇලෙන ආකාරයට මනසිකාරය සිදුවේ. එසේම යමකුගේ සිත තුළ ද්වේශය තිබේ නම් ගැටෙන ආකාරයට මනසිකාරය සිදුවේ. අයෝනිසෝමනසිකාරයට සිත තුළ පවත්නා රාගයත් ද්වේශයත් උපකාරී වේ. එබැවින් රාගය, ද්වේශය සිත තුළින් ප්‍රහීණ කිරීමට නම් අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය බවට පත් කළ යුතුය. මේ සඳහා බුදුදහමෙන් පෙන්වාදෙන චිත්ත අභ්‍යාසය ‘ඉන්ද්‍රීය භාවනාව‘ නමින් හඳුන්වා දී ඇත.
මනසිකාරය සිදුවන්නේ ඇස, කන ආදි ඉන්ද්‍රියන්ට රූප, ශබ්ද ආදිය ගැටෙන මොහොතේ ය. ඒ අවස්ථාවේ ම එම මනෝමය ස්වභාවය තම සිත තුළින් දැක (දර්ශනය කොට) එම සිතුවිලිවලින් සිදුවන ඇලීම, ගැටීම නිසා හටගන්නා විපත්තිවල භයානකකම ගැන මෙනෙහි කරන්නට පුහුණූ වීමෙන් අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය බවට පත්කළ හැකිය. එම පුහුණුව නැවත නැවත කිරීමෙන් යෝනිසෝමනසිකාරයට ප්‍රාප්ත විය හැකිය. (“තෙසානං ධම්මානං භාවිතා බහුලීකම්මා සච්චානුපත්ති හොති” (චංකී සූත්‍රය –මජ්ඣිම නිකාය)
බුදුන් වහන්සේගේ කාලයට පෙර සිටි ඍෂිවරුන් විසින් ද භාවනා නම් වූ චිත්ත අභ්‍යාස සකස් කරන ලද්දේ මනසිකාරය යෝනිසෝමනසිකාරය කිරීමට බව පෙනේ. එහෙත් එම භාවනා අභ්‍යාස මගින් සිදුවන්නේ එම භාවනාවල යෙදී සිටින අවස්ථාවට පමණක් යෝනිසෝමනසිකාරය සීමා වීමයි. එයින් දිට්ඨධම්ම සුඛ විහරණයක් ලැබෙන බව සල්ලේඛ සූත්‍රදේශනයේදී (මජ්ඣිම නිකාය) බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. ඉන්ද්‍රීය භාවනා සූත්‍ර දේශනාව අවසානයේ තිලෝගුරු බුදුන් වහන්සේ මෙසේ පෙන්වා දෙන සේක.
“ඉතිකො ආනන්ද දෙසිතා මයා අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රීය භාවනා දෙසිතො සෙඛො පටිපදා දෙසිතො අරියො භාවිතින්ද්‍රියො”
‘ආනන්දය, මේ ආකාරයෙන් මා විසින් ආර්ය විනයේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන ලදී. එමෙන්ම ආර්ය මාර්ගයේ පුහුණුවන්නන්ගේ ප්‍රතිපදාව පෙන්වා දෙන ලදී.එසේම ආර්යන්ගේ පුහුණු වූ ඉන්ද්‍රියන් දේශනා කරන ලදී.’
මෙමඟින් අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය බවට පත්කෙරෙන භාවනාමය ප්‍රතිපත්ති ශික්ෂණය දක්වා ඇත. එය නුවණින් මෙනෙහි කර අවබෝධ කර ගන්නා බුද්ධිමතුන්ට කෙලෙස් ප්‍රහීන කිරීමේ පහසු මාර්ගය වන්නේ මිනිස් ජීවිතය හා සංසාර ගමන රඳා පවත්නා අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය බවට පත් කිරීමෙන් බව අවබෝධ වේ. ඒ සඳහා ඉන්ද්‍රීය භාවනාව උපකාරිවේ.
කෙලෙස් සිතුවිලි සංවර කොට සිතින් පලවා හැරීමෙන් තොරව මිනිසාට යහපත් මිනිසකු විය නොහැකිය. මිනිසා අයහපත් වන්නේ ඔහුගේ අයෝනිසෝමනසිකාර නිසාය. පුද්ගලයා උසස් හෝ පහත් වන්නේ ඔහුගේ චරියාව මතයි. ආගම් භේදයකින් තොරව සෑම මිනිසකුම යහපත් තැනැත්තකු වීම අත්‍යවශ්‍ය වේ. සෑම ආගමකින්ම මිනිසා යහපත් විය යුතු බව උගන්වනු ලැබේ. එහෙත් ඔහුට යහපත් වීමටත් සසරෙන් මිදීමටත් මනැස මුල්කරගත් මාර්ගයක් පෙන්වා දෙන්නේ මහා දාර්ශනික බුදුන් වහන්සේය.
අපගේ සිතෙහි වත්මන් මොහොතේද පවතින්නේ මනසිකාරය හෙවත් මෙනෙහිවීම බව ඔබට දැකිය හැකිය. එය කෙසේ සිදුවන්නේද කියා දර්ශනය කරමින් ඇලීම, ගැටීම සිදුනොවන ආකාරයට සිත සකස් කරගත යුතුය.සිතුවිලි දකින සිහිනුවණින් යුතුව (සති සම්පජඤ්ඤයෙන්) වාසය කරන තැනැත්තාට මේ ජීවිත කාලය තුළදීම රාගයත් (ඇලීම) ද්වේශයත් (ගැටීම) ප්‍රහීන කොට අනාගාමියකු විය හැකි බව ඉතා පැහැදිලිව දක්වා ඇත. එමඟින් මනැසේ කෙලෙස් ප්‍රහීන වීම වෑයේ මිට ගෙවී යන්නාසේ ක්‍රම ක්‍රමයෙන් සිදු වන බව පෙන්වා දී තිබේ. මේ අනුව ඔබගේ මනසිකාරය හෙවත් මෙනෙහිවීම කෙරෙහි අවධානය යොමු කොට එහි ස්වභාව අවබෝධ කොට ගෙන නොඇලෙන, නොගැටෙන ආකාරයට සිත සකස් කරගැනීම සුදුසු වේ. මෙසේ යෝනිසෝමනසිකාරය ප්‍රගුණ කර ගැනීමට අද අදම කටයුතු සලසා ගනිත්වා!

Friday, March 1, 2013

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්ස
ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!



ශ‍්‍රද්ධාවන්ත පින්වතුනි,

ද අපි ඔබට කියා දෙන්නේ සංයුත්ත නිකායේ පස් වෙනි කොටසට අයිති බුද්ධ දේශනාවක්. මේ දේශනාවේ නම ‘අභිසන්ද සූත‍්‍රය.’ අභිසන්ද කියලා කියන්නේ ගංගාවට. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළේ සැවැත් නුවර ජේතවනාරාමයේදී…
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ”පින්වත් මහණෙනි, සැප ලබාදෙන පුණ්‍ය ගංගාවල්, සැප ලබා දෙන කුසල ගංගාවල් හතරක් තියෙනවා.” අපි හැමෝමත් සැප කැමති අයනේ. ඒ නිසා අපට මේක හොඳ වැදගත් පණිවිඩයක්. ඒ තමයි, සැප ලබාදෙන පුණ්‍ය ගංගාවල් හතරක් තියෙනවා.
බුදුරජාණන් වහන්සේ මේ පුණ්‍ය ගංගාවල් හතර ගැන දේශනා කරනවා,” (ඉධ භික්ඛවේ, අරියසාවකෝ බුද්ධේ අවෙච්චප්පසාදේන සමන්නාගතෝ හෝති) මහණෙනි, ආර්ය ශ‍්‍රාවකයා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ස්ථිර වූ පැහැදීමකින් සමන්විතයි.” එහෙනම් අපට පෘථග්ජන වෙලා මේක කරන්න බැහැ. අපට මේක කරන්න තියෙන්නේ ආර්ය ශ‍්‍රාවකයන් හැටියටයි.
‘අවෙච්චප්පසාද’ කියලා කියන්නේ මේ වගේ එකක්. අපි දැකලා තියෙන සමහරුන්ගේ ප‍්‍රසාදය තියෙන්නේ එක වෙලාවකට විතරයි. ඒක ස්ථිරව පිහිටපු එකක් නොවෙයි. ඔන්න වෙලාවකට පැහැදීමෙන් කතා කරනවා. ඊළඟට කවුරුහරි කෙනෙක් බැන්නොත්, ඒ බනින පැත්තට යනවා. ගිහිල්ලා බනින්න පටන් ගන්නවා. ආයේ තව කෙනෙක් පැහැදීමෙන් කතා කළොත් ආයෙමත් ප‍්‍රශංසා කරනවා. එයා වෙලාවකට බනිනවා, වෙලාවකට ප‍්‍රශංසා කරනවා. ඒකට ‘අවෙච්චප්පසාද’ කියන්නේ නෑ.
බුදුරජාණන් වහන්සේ ඒ පැහැදීමට ‘පරඬැල’ කියලා වචනයක් පාවිච්චි කළා. පරඬැල කියන්නේ සුළෙඟ් පාවෙලා යන එකක්. පරඬැල හැම තිස්සේම සුළං හමන පැත්තටයි යන්නේ. සමහරුන්ගේ පැහැදීමත් ඒ වගේ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා.
හමාගෙන යන පැත්තට යන්නේ ස්ථීරව පිහිටි එකක් නොවන නිසයි. දකුණින් සුළඟ හමනවා නම් පරඬැල උතුරට යනවා. උතුරෙන් සුළඟ හමනවා නම් දකුණට යනවා. නැගෙනහිරින් සුළඟ හමනවා නම් බටහිරට යනවා. බටහිරින් සුළඟ හමනවා නම් නැගෙනහිරට යනවා. බුදුරජාණන් වහන්සේ වදාළා, ස්ථීර පැහැදීමක් නැති කෙනාගේ ශ‍්‍රද්ධාවත් ඒ වගේ කියලා.
බුදුරජාණන් වහන්සේ ස්ථීරව පැහැදුණ කෙනා ගැන විස්තර කිරීමට උපමාවට ගත්තේ ‘ඉන්ද්‍රඛීලය.’ ඒ කාලේ නගරවල ‘ඉන්ද්‍රඛීලය’ කියලා එකක් තිබිලා තියෙනවා. ඉන්ද්‍රඛීල කියලා කියන්නේ පොළොවේ අඩි 10ක් 15ක් ගැඹුරට හාරලා, ඒ වගේම පොළොවෙන් උඩටත් අඩි 10ක් 15ක් තියෙන ලොකු ගල් කණුවකට. ඒක තමයි ශ‍්‍රද්ධාවට උපමාව.
ඔබට මතකද ඒ ගැන රතන සූත‍්‍රයේ සඳහන් වෙනවා. (යථින්දඛීලෝ පඨවිංසිතෝ සියා) පොළොවේ ගැඹුරට හාරලා ඉන්ද්‍රඛීලයක් හිටෙව්වද,(චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ) හතර දිශාවෙන්ම හුළඟ හැමුවත් ඒ ඉන්ද්‍රඛීලය සොලවන්න බැහැ. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පහදින්න ඕනෙත් අන්න ඒ වගේ තමයි. ධර්මය කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ශ‍්‍රාවකයන් වහන්සේලා කෙරෙහි පහදින්න ඕනෙත් ඒ විදිහටයි. ඒ පැහැදීම ලෝකයේ කාටවත් වෙනස් කරන්න බැරි එකක්. යමෙකුට අන්න ඒ වගේ පැහැදීම ඇතිවුණා නම්, ඒක තමයි (පුඤ්ඤාභිසන්ද) පුණ්‍ය ගංගාව. ඒ පැහැදීම තමයි (කුසලාභිසන්ද) කුසල ගංගාව. ඒක තමයි (සුඛස්සාහාරා) සැපය ඇතිකරල දෙන දේ.
බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම ඇතිකර ගන්නේ කොහොමද කියලා බුදුරජාණන් වහන්සේම අපට පෙන්වා දී තියෙනවා. ඉතිපි සෝ භගවා අරහං (මේ ආකාරයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ) අරහං, සම්මාසම්බුද්ධෝ, විජ්ජාචරණ සම්පන්නෝ, සුගතෝ, ලෝකවිදූ, අනුත්තරෝ පුරිසදම්ම සාරථී, සත්ථා දේවමනුස්සානං, බුද්ධෝ, භගවා… එතකොට එතැන ගුණ නවයයි. එයාගේ හිතේ ඉන්ද්‍රඛීලයක් වගේ පැහැදීම තියෙන්නේ මේ ගුණ නවය පිළිබඳවයි. එයාගේ ඒ පැහැදීම කාටවත් වෙනස් කරන්න බෑ. යමෙකුට බුදුරජාණන් වහන්සේ ගැන අන්න ඒ වගේ පැහැදීමක් ඇතිවුණා නම්, ඒක පළවෙනි පුණ්‍ය ගංගාවයි, කුසල් ගංගාවයි. ඒ හේතුවෙන් එයාට සැපය ගලාගෙන එන ජීවිතයක් ලැබෙනවා.
අපි දැන් ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ නවය තේරුම් ගනිමු. පළවෙනි බුදුගුණය ‘අරහං.’ බලන්න, උන්වහන්සේ මීට අවුරුදු 2600 කට කලින් සම්මා සම්බුද්ධත්වයට පත්වුණා. ඒ සම්මා සම්බුද්ධත්වය පවා දෙවැනියට ගිහින් ‘අරහං’ කියන ගුණය ඉස්සරහට ඇවිල්ලා තියෙනවා.‘අරහං’ කියන වචනයේ තේරුම උන්වහන්සේ රහතන් වහන්සේ නමක් කියන එකයි.
රහතන් වහන්සේ නමක් කියන්නේ, උන්වහන්සේ හිතේ හටගත් කෙලෙස් ප‍්‍රහාණය කරපු කෙනෙක්. කෙලෙස් කියලා කියන්නේ අපේ සිත කිලිටි කරන දෙවල් වලට. යම් වෙලාවක අපේ සිත කිලිටි වුණොත් කිලූටු වෙන්නේ එක්කෝ රාගයෙන්, එහෙම නැත්නම් ද්වේෂයෙන්, එහෙමත් නැත්නම් මෝහයෙන්. මේ තුන සම්බන්ධ වෙලා තමයි අනෙක් කෙලෙස් ඔක්කෝම හටගන්නේ.
යම් වෙලාවක අපේ සිත ඒ වගේ ක්ලේශයකින් අපිරිසිදු වුණොත් ඊට පස්සේ අපේ වචනත් අපිරිසිදු වෙනවා. අපේ ක‍්‍රියාත් අපිරිසිදු වෙනවා. ඒක හරි පැහැදිලිව දකින්න පුළුවන්. ලෝකයේ යම් කෙනෙකුගේ කටින් අපිරිසිදු වචනයක් පිටවෙනවාද, ඒ හිත කිලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙකුගේ කයින් අපිරිසිදු ක‍්‍රියාවක් සිදුවෙනවාද, ඒ සිත කලිටි වූ වෙලාවක්. යම්කිසි කෙනෙක් යම් මොහොතක අපිරිසිදු දෙයක් හිතනවාද, එයත් හිතට අපිරිසිදු දෙයක් එකතු වූ වෙලාවක්. යම්කිසි කෙනෙක් මේ සියලූ අකුසල් සහමුලින්ම නැතිකළාද, උන්වහන්සේට ‘රහතන් වහන්සේ’ කියලා කියනවා. ඒ විදිහට ගුරූපදේශ නැතුව, තමන් තනිවම සොයාගත් වැඩපිළිවෙල තුළින් සම්මා සම්බුද්ධත්වයට පත්වීම නිසා, උන්වහන්සේ ඉස්සෙල්ලාම අරහත්වයට පත්වුණා.
අරහත්වයට පත්වූ ජීවිතය සුවිශේෂී වූවක්. අපි අපේ ජීවිත ගනිමු. අපි ඇහෙන් රූප බලනවා. කණින් ශබ්ද අහනවා. නාසයෙන් ආඝ‍්‍රාණය කරනවා. දිවෙන් රස විඳිනවා. කයින් පහස ලබනවා. හිතින් හිතනවා. අපේ ජීවිත තුළ සිදුවෙන මෙම සිද්ධිදාමය බුදුරජාණන් වහන්සේ වදාළේ, වැලි ගොඩකට තෙල් වත්කළා වගේ කියලයි. ඒ කියන්නේ අපේ හිතට මේවා උරාගන්නවා. ඇහින් රූප බලන කොටත් එහෙමයි. කණින් ශබ්ද ඇහුණත් එහෙමයි. ඒ දේවල් අපේ ජීවිතයේ රැුස්වෙන්නේ මතකයක් හැටියට විතරක් නෙවෙයි, කෙලෙස් හදන අරමුණු හැටියටයි.
රහතන් වහන්සේගේ ජීවිතය ඊට හාස්පතින්ම වෙනස්. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේගේ සිත උපමා කළේ නෙළුම් පතකටයි. නෙළුම් කොලේට වතුර බිංදුවක් දැම්මොත් එය නෙළුම් කොලේට උරාගන්නේ නෑ. ඒ වතුර බිංදුව නෙළුම් කොලේ එහෙට මෙහෙට කරන කොට ඔහේ යනවා. ඇල කළොත් වැටෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා රහතන් වහන්සේගේ සිතත් ඒ වගෙයි කියලා.
රහතන් වහන්සේ ඇහෙන් රූප දැක්කා කියලා ඒ රූපය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. කණින් ශබ්ද ඇහුවා කියලා ඒ ශබ්දය කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. නාසයෙන් ආඝ‍්‍රාණය කළා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ ගඳ සුවඳ හිතට යන්නේ නෑ. දිවෙන් රස වින්දා කියලා කෙලෙස් හටගන්න අරමුණක් හැටියට ඒ රස හිතට යන්නේ නෑ. කයට පහස ලැබුණා කියලා ඒ පහස, කෙලෙස් හටගන්න අරමුණක් හැටියට හිතට යන්නේ නෑ. හිතට අරමුණු හිතුණා කියලා කෙලෙස් හටගන්න අරමුණකට සම්බන්ධ නෑ. ඒ තමයි අරහත්වයට පත් වූ සිතක ස්වභාවය. බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 පුරාම වැඩසිටියේ මේ ස්වභාවයෙන්. උන්වහන්සේගේ ජීවිතය පුරාම තියෙන්නේ ඒ නිකෙලෙස් බවයි.
අනාථපිණ්ඩික සිටුතුමා පනස්හතර කෝටියක් වියදම් කරලා බුදුරජාණන් වහන්සේ උදෙසා ජේතවනාරාමය හැදුවනේ. එහි බුදුරජාණන් වහන්සේට වැඩඉන්න, වහලවල් හතක් තියෙන සුදු හඳුන් කුටියක් හැදුවා. බුදුරජාණන් වහන්සේ අනාථපිණ්ඩික සිටුතුමා කෙරෙහි කරුණාවෙන් මේ කුටියේ වැඩසිටියා. නමුත් වස් කාලය අවසන්වුණාම උන්වහන්සේ ඒ කුටියෙන් එළියට බැහැලා චාරිකාවේ වඩින්නේ හංසයෙක් විල අත්හැරලා යනවා වගෙයි. නැවත ඒ දිහා හැරිලවත් බලන්නේ නෑ.
සමහර දවස්වලට උන්වහන්සේ වැඩඉන්නේ ගහක් යට. සමහර දවස්වලට ගල් ලෙනක. උන්වහන්සේට මේ කිසිම තැනක වෙනසක් නෑ. බලන්න, ධර්මය අවබෝධ කරපු කෙනාගේ ස්වභාවය. ධර්මය අවබෝධ නොකරපු කෙනෙක් නම් ඒ සුදු හඳුන් කුටියට ගිහිල්ලා නිතර අතගායි, බිත්ති ඉඹියි, අත ගගා ‘හරි අගෙයි’ කියයි. නමුත් බලන්න, කෙලෙස් කිසිවක් නැති අපගේ ශාස්තෘන් වහන්සේ කොයිතරම් පිරිසිදු පිවිතුරු බවකින් ජීවත් වුණාද?
අනිත් කාරණය තමයි, උන්වහන්සේ ඒ විදිහට අරහත්වයට පත්වුණා කියලා ලෝකයට හෙළිදරව් කළාම ඒක සාමාන්‍ය ලෝකයාට අභියෝගයක් වුණා. ඉන්දියාව වගේ රටක ‘මම අරහත්වයට පත් වූ කෙනෙක්’ කියලා ප‍්‍රසිද්ධියේ කියන එක කොච්චර අභියෝගයක්ද? උන්වහන්සේ අරහත් නෙවෙයි කියලා කියන්න අනිත්් අය කොච්චර මහන්සි ගන්න ඇද්ද? දැන් අපට ඒක තේරෙන්නේ නෑ.
මං ඒකට උදාහරණයක් කියන්නම්. බුදුරජාණන් වහන්සේට කෙලෙස් තියෙනවා කියලා කියන්න දේවදත්ත කොච්චර මහන්සි ගත්තද? දේවදත්ත නාලාගිරි ඇතාට හොඳටම රා පොවලා දරුණු කරලා එව්වා. සමහර විට දේවදත්ත මිනිසුන්ට කියන්න ඇති ”දැන් බලාපල්ලා… ඔන්න ඇතා එනවා. අඩියක් හරි පස්සට ගියොත් මෙයා රහතන් වහන්සේ නමක් නෙවෙයි! එහෙනම් හිතේ බය හටගන්නවා. මම ඒක ඔප්පු කරල පෙන්වන්නම්..” කියලා. හිස් මිනිස්සු මේ වගේ දේවල් කරනවනේ.
දැන් මේ ඇතා කුලප්පු වෙලා බඩුමුට්ටු පොළොවෙ ගහගෙන, කඩවල් කඩාගෙන, ගස් කොළන් උදුරාගෙන පාර දෙවනත් කරගෙන වේගයෙන් ඉදිරියට එනවා. (අපි පාරේ යන කොට ඇතෙක් නිකං හොඬේ වැනුවත් අපි ගැස්සෙනවානේ) බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා සමඟ ඒ පාරේ ඉස්සරහට වඩිනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ ‘මේ ඇතා බුදුරජාණන් වහන්සේට අනතුරක් කරන්න කලින් මම මගේ ජීවිතය පූජාකරනවා’ කියලා කල්පනා කරලා ඉස්සරහට පැන්නා. (බලන්න බුදුරජාණන් වහන්සේට කොච්චර ප‍්‍රශ්නවලට මුහුණ දෙන්න වුණාද?) ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ”ආනන්ද, පිටිපස්සට වෙන්න… පිටිපස්සට වෙන්න… කිව්වා. බුදුරජාණන් වහන්සේ එක පියවරක් පිටිපස්සට තිබ්බේ නෑ. බලන්න නිකෙලෙස් සිතක ස්වභාවය. මේ සිද්ධියෙන් අපට පේන්නේ උන්වහන්සේගේ නිකෙලෙස් ස්වභාවයයි. බුදුරජාණන් වහන්සේගේ ජීවිතය පුරාම ඒ අරහත්වය දකින්න තියෙනවා. අද අපට එය දකින්න ලැබෙන්නේ බුද්ධ දේශනාවලින් පමණයි.
බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ බ‍්‍රාහ්මණ සමාජය කඩාගෙන වැටුණා. ඒගොල්ලන්ගේ බල ඔක්කෝම බිඳිලා ගියා. ඒ නිසා ඒගොල්ලෝ හැමතිස්සේම කැමති වුණේ විනාශයක් කරන්නයි. නමුත් බුදුරජාණන් වහන්සේ හැමතිස්සේම, ඒ සෑම දේකටම කිසි බියක්, තැතිගැනීමක්, ඇලීමක්, ගැටීමක්, ශෝකයක් නැතුව මුහුණ දුන්නා.
අපි ඒ කාරණයෙන් සිත පහදවා ගන්න ඕන, ‘අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම රහතන් වහන්සේ නමක්’ කියලා. ඒකට තමයි ‘ශ‍්‍රද්ධාව’ කියන්නේ. අපට මේ ධර්මය පෙන්වා දෙන අපගේ ශාස්තෘන් වහන්සේ නිකෙලෙස් හිතකිනුයි ජීවත්වුනේ කියලා අපි බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදවාගන්න ඕන. ඒ හිත පහදවාගැනීම තමයි අපේ ජීවිතයේ පුණ්‍ය ගංගාව බවට පත්වෙන්නේ.
බුදුරජාණන් වහන්සේගේ දෙවැනි සම්බුදුගුණය ‘සම්මා සම්බුද්ධ.’ බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධයි කියන්නේ ගුරූපදේශ නොමැතිව ධර්මාවබෝධ කළ නිසයි. මේකේ විශේෂත්වය බලන්න, අද වන විට සූත‍්‍ර පිටකයේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා දහ අටදාහක් පමණ තියෙනවා. ඔබට කවුරුහරි දේශනයකට ආරාධනා කළොත් ඔබ පොත් කීයක් බලනවද? ඊට පස්සේ ඔබ ඒකට වුවමනා සටහන් ගහගෙන සූදානම් වෙනවනේ.
නමුත් කිසිම දෙයක් නැති, පොතක් පැන්සලක් ලඟ නැති බුදුරජාණන් වහන්සේ පාරේ ඇවිදගෙන යනවා. මහා පඬිවරු, වේදයේ කෙල පැමිණි බ‍්‍රාහ්මණයෝ, එක එක විෂයන් දන්න අය ප‍්‍රශ්න හදාගෙන උන්වහන්සේ ලඟට එනවා. උන්වහන්සේ බොහොම සුළුවෙන් කතා කරලා බොහොම පහසුවෙන් ඒවා විසඳනවා. උන්වහන්සේ අපට හිතන්න බැරි විදිහේ කල්පනාවලින් උත්තර දෙනවා. ඒකයි මේකෙ විශේෂත්වය.
එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට තාපසයෙක් ආවා. ඇවිල්ලා මෙයා කියනවා ”ස්වාමීනී, මම මෙන්න මේ දෘෂ්ටියෙන් යුක්තයි. මම කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නෑ..” ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ අහනවා ”කිසිම දෘෂ්ටියක් රුචි කරන්නේ නෑ’ කියන ඔය දෘෂ්ටියට ඔබ රුචි කරනවා නේද?” කියලා. බලන්න කොච්චර මානසික කල්පනාවට එනවද කියලා. එතැනින් තමයි එයාට ධර්මය විවෘත වුණේ.
බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවලින් අපි ඉගෙනගන්න දේවල් ලෝකයේ වෙන කිසිම විෂයක නෑ. කිසිම විෂයකින් හොයන්නත් බෑ. වර්තමානයේ නම් ඔය එක එක්කෙනා බුදුදහමයි, විද්‍යාවයි එකයි කිය කියා දඟලනවා අපට පේනවා. ඒ දඟලන දැඟලිල්ල හරි අසරණ දැඟලිල්ලක්. ඒක තමන්ට ශ‍්‍රද්ධාව නැතිකම වහගන්න දඟලන දැඟලිල්ලක්.
මේ බුද්ධ දේශනා තුළින් තමයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා අවබෝධ කරපු චතුරාර්ය සත්‍යය අපට ඉගෙනගන්න ලබෙන්නේ. ඊළඟට හැම බුද්ධ දේශනාවකම හරිම විශේෂයක් තියෙනවා. ඒ තමයි හරිම අලූත්. අලූත් කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයේ කලින් අහපු නැති දේටයි අයිති. ඒකට හේතුව තමයි, බොහෝ විට සාමාන්‍ය ලෝකයාට වැටහෙන දේවල් හැම එකක්ම සම්බන්ධ වෙන්නේ මොකක් හරි මතයක් සමඟයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන් සම්බන්ධ අවබෝධයක් සමඟයි. එතකොට මතවාදයත් එක්ක සම්බන්ධ එකයි, අවබෝධයක් එක්ක සම්බන්ධ එකයි දෙකක්.
එක දවසක් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ”ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ ලෝකයේ ඕනෑම කෙනෙක්, ඕනෑම ප‍්‍රශ්නයක් ඇහුවොත් දෙන්න තියෙන හරිම උත්තරේ දෙනවා. ඒක කොහොමද කරන්නේ? ‘මගෙන් මේක ඇහුවොත් මම මේ උත්තරේ දෙනවා’ කියලා භාග්‍යවතුන් වහන්සේ කලින් කල්පනා කරලා තියාගෙන ඉඳලද එහෙම උත්තර දෙන්නේ?” කියලා අසා සිටියා.
බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ හරි ලස්සන උපමාවක් වදාළා,
”ඔබ වාහන හදන බාස්ලා ගැන දන්නවාද?” ”දන්නවා” කිව්වා.
”වාහනයේ හැම කෑල්ලක්ම හදපු බාසුන්නැහේ ඒ වාහනය ඔක්කොම සකස් කළාට පස්සේ කෙනෙක් ‘අනේ බාසුන්නැහේ, අර අතන ප‍්‍රශ්නයක් තියෙනවා. මොකක්ද ඒ?’ කියලා ඇහුවොත් ඒකට උත්තර දෙන්න එයාට පොත් බලන්න ඕනද? කල්පනා කර කර ඉන්න ඕනද?”
ඒ අහන හැම ප‍්‍රශ්නයකටම තථාගතයන් වහන්සේට විසඳුම එන්නෙත් ඒ විදිහටයි. ඒ, හැම දෙයක්ම අවබෝධ කළ නිසයි. මේ හැම දෙයකින්ම මතුවෙන්නේ බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයයි.
එක තැනක තියෙනවා, බුදුරජාණන් වහන්සේ යම රජ්ජුරුවො හිතපු එකක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා,”මහණෙනි, යම රජ්ජුරුවන්ට හිතුණා, ‘අනේ මේ සත්වයන් පව්කරලා මෙහෙ ඇවිල්ලා දුක් විඳිනවා. අනේ… මට මේතැනින් චුතවෙලා, බුදු කෙනෙක් පහළ වුණ අවස්ථාවක මනුෂ්‍යයෙක් වෙලා ඉපදිලා, ඒ බුදුරජාණන් වහන්සේ ගාව මහණ වෙලා, ධර්මය අවබෝධ කරන්න ඇත්නම් කොයිතරම් හොඳද..?’ කියලා.
ඉතින් ඒ විදිහට නිරයේ විස්තර කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ”මහණෙනි, මම කාගෙන්වත් අහලා නෙවෙයි මේ කියන්නේ. මම අවබෝධයෙන්ම මේගොල්ලන්ගේ මේ තත්වය දැක්කා” කියලා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන්නේ තව කෙනෙකුගෙන් අහලා කියන කතාවක් නෙවෙයි, අත්දැකීමෙන් කියන කතාවක්. ඒක මේ දේශනා පුරාම දකින්න ලැබෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණේ මොකටද කියන කාරණය අපි ඒ ඇසුරෙන් තේරුම් ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණ කාරණය තමයි, උන්වහන්සේගේ පළමුවෙනි ගුණයෙන්ම මතුවෙන්නේ. ඒ තමයි නිකෙලෙස් වීම.. අරහත්වයට පත්වීම.. සසර දුකින් මිදීම..
බුදු කෙනෙක් පහළ වෙන්නේ ලෝකයට චතුරාර්ය සත්‍යය ධර්මය ලබාදෙන්නයි. ඒ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කිරීමේදී ‘සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත්’ කියලා පියවර හතරක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ, ”පළමු පියවරේදී මෙන්න මෙහෙම හිතේ දියුණුව ඇතිවෙනවා. දෙවැනි පියවරේදී මෙහෙම වෙනවා. තුන්වැනි පියවරේදී මෙහෙම වෙනවා. හතරවැනි පියවරේදී මෙහෙම වෙනවා” කියලා මේ ඔක්කෝම දේශනා කළේ අවබෝධයෙන්මයි.
උන්වහන්සේගේ සම්බුද්ධත්වය මේ සෑම දේශනාවකම දකින්න ලැබෙනවා. ඒ නිසා ”අනේ මගේ ශාස්තෘන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි” කියලා අපි ඒ බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න ඕන.
පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ 

අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නන්ට පිළිතුරු





අතිපූජ්‍ය
රේරුකානේ
චන්දවිමල මහ නා හිමි
බුදුරජාණන් වහන්සේ වැඩ සිටි සමයේදීත් පිරිනිවන් පෑමෙන් පසුවත් බුදුන් වහන්සේගේ ධර්ම විනයට විරුද්ධ මත දැරුවෝ ගිහි පැවිදි දෙපිරිස තුළම සිටියහ. එයින් උද්ගත වූ නොයෙක් කාරණා හේතුවෙන් බුදුන් වහන්සේ වැඩ සිටියදීම ශාසන චිරස්ථිතිය උදෙසා විනය නීති පැනවීමත් පැනවූ යම් යම් විනය නීති සංශෝධනයත් සිදුවිය. එසේ විවිධ මතයන්ගෙන් පිරිසුදු ධර්ම විනය දෙක බුදුරදුන් පිරිනිවීමෙන් පසු මහා සංඝරත්නය විසින් ද එවැනි මත මතුවූ කල්හි ධර්ම සංගායනා පැවැත්වීමෙන් පිරිසුදුව රැකගනු ලැබිණි.
මෙසේ ආරක්‍ෂා වූ අසූ හාරදහසක් ධර්මස්කන්ධය ත්‍රිපිටකය නම් විය. එහිදී විනය පිටකයට 21000ක්ද සූත්‍ර පිටකයට 21000ක්ද අභිධර්ම පිටකයට 42000ක්ද ධර්මස්කන්ධයෝ අයත් වෙති. මෙහි අභිධර්ම පිටකයට අයත් ධර්මස්කන්ධය බුද්ධ භාෂිතයක් නොවේ යි යන මතය දරන සුළු පිරිසක් ගිහි පැවිදි දෙපාර්ශවය තුළින්ම වරින් වර මතු වී ඇත. ඔවුන්ගේ ඒ දුර්මතය දුරු කිරීමෙහිලා ඒ ඒ කාල පරිච්ඡේද තුළ වැඩ සිටි මහ තෙරුන් වහන්සේ කටයුතු කර ඇත. 2500 වැනි බුද්ධ ජයන්තිය උදෙසා සිදු කළ ත්‍රිපිටක පරිවර්තනයේ දී (සිංහල භාෂාවට) මහාවග්ග පාලියෙහි (ප්‍රථම භාගයෙහි) ද ධම්මසංගණී ප්‍රකරණයෙහිද ප්‍රස්ථාවනාවන් සැපයූ මහතෙරුන් වහන්සේ ද එම මතයට විරුද්ධව දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කොට ඇත.
මෙකල බුදුසසුනට මහත් ආලෝකයක් වූ කුඩා ත්‍රිපිටකයක් බඳු දහම් පොත් පෙළක් (26 ක්) සම්පාදනය කළ මහ තෙරුන් වහන්සේ කෙනකු හැටියට බෞද්ධ ලෝකයාගේ ගෞරවාදරයට පත් වූ අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල නාහිමියන් වහන්සේද එම කරුණෙහිලා “අභිධර්ම පිටකය අබුද්ධ දේශිතයකැයි කියන්නවුන්ට පිළිතුරු” මැයෙන් ලිපියක් පළකොට ඇත. නාහිමියන් අපවත් වී 2012 ජූලි 04 වැනි දිනට වර්ෂ 15 පිරීමත් 2012 ජූලි 19 වැනි දිනට 115 වැනි උපන් දිනය වීමත් නිමිති කොටගෙන උන්වහන්සේගේ ගුණ සිහිකිරීම වශයෙන් එම ලිපිය මෙහි දැක්වේ.
තථාගතයන් වහන්සේ විසින් පන්සාලිස් වසක් මුළුල්ලෙහි වදාරන ලද බුද්ධ වචන රාශිය ධර්ම විනය වශයෙන් දෙපරිදි වෙයි. එයින් විනය, විනය-අභිවිනය වශයෙන් දෙකකට බෙදනු ලැබේ. භික්‍ෂු භික්‍ෂුණීන් විසින් පොහෝ කිරීමේ දී උදෙසනු ලබන පාරාජිකා සංඝාදිසේසාදි සිඛපද විස්තර කර ඇති පාරාජිකා පාළි, පාචිත්තිය පාළි යන විනය ග්‍රන්ථ දෙක විනය නමින් හඳුන්වනු ලැබේ. පැවිදි කිරීම්, උපසම්පදා කිරීම්, සීමා බැඳීම්, පොහෝ කිරීම්, පවාරණය කිරීම්, ඇවතට පිළියම් කිරීම් ආදිය දක්වන්නා වූ ද, සිඛපදයන් නොයෙක් ආකාරයෙන් විභාග කොට දක්වන්නා වූද මහාවග්ග, චූලවග්ග, පරිවාර යන ග්‍රන්ථ තුන අභිවිනය නමින් හඳුන්වනු ලැබේ. බුද්ධ වචනයන් පිටක වශයෙන් බෙදීමේදී විනය – අභිවිනය දෙකම විනය පිටකය වශයෙන් ගනු ලැබේ.
ධර්මය ද , ධර්ම – අභිධර්ම වශයෙන් දෙකට බෙදනු ලැබේ. තථාගතයන් වහන්සේ විසින් ඒ ඒ ස්ථානවලදී ඒ ඒ පුද්ගලයන් හට ඔවුන්ගේ චරිත අනුව, අදහස් අනුව, පැමිණ ඇති කරුණු අනුව පවත්වන ලද දේශනා ධර්ම නම් වේ. සූත්‍ර යනු ද ඒවාට කියන තවත් නමෙකි. චිත්ත, චෛතසික, රූප, නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන දේශනාව අභිධර්ම නම් වේ. එනම්, ධම්මසංගණී – විභංග - ධාතු කථා - පුග්ගල පඤ්ඤත්ති – කථාවත්ථු - යමක – පට්ඨාන යන ප්‍රකරණ සතය. ධර්ම පිටක වශයෙන් බෙදීමේදී මේ සප්ත ප්‍රකරණය අභිධර්ම පිටකයයි ද ඉතිරි ධර්ම සූත්‍රපිටකය යි ද කියනු ලැබේ.
ලොව ඇති සජීවාජීව සියල්ල සෑදෙන මූල ධාතූන් විස්තර වශයෙන් විභාග කොට ඇත්තේ ද ඒවා ඇතිවන සැටිත්, පරම්පරා වශයෙන් පවත්නා සැටිත්, ඒ ධාතු පරම්පරාවන් සිඳී යන සැටිත්, ඒ ධාතුන්හි ඇති ශක්ති විශේෂයන් හා ඒවායින් ඇති විය හැකිදේත්, විභාග කොට ඇත්තේ ද අභිධර්මයෙහිය. කුශාලාදි ධර්ම නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, ඒවායේ ඇති ශක්ති විශේෂ විභාග කොට ඇත්තේ ද, ඒ ශක්තීන් නිසා ඇතිවන ඵල විපාක නිරවුල් ලෙස විභාග කොට ඇත්තේ ද, මෙලොවින් පරලොවට කිසිවක් නොගොස්ම නැවත නැවත භවයෙන් භවයෙහි සත්වයාගේ ඉපදීම සිදුවිය හැකි ආකාරය දක්වා ඇත්තේ ද අභිධර්ම පිටකයෙහිය.
සූත්‍ර පිටකය වනාහි වෛද්‍යවරයකු විසින් රෝගීන් පරීක්‍ෂාකර ඒ ඒ රෝගියා උදෙසා ලියන ලද බෙහෙත් වට්ටෝරු සමූහයක් වැනිය. එසේ ලියූ බෙහෙත් වට්ටෝරු දහස් ගණනක් කියවීමෙන් වුවද කෙනකුට වෛද්‍යවරයකු නොවිය හැකි ය. එමෙන්ම සූත්‍ර කෙතෙක් උගත ද එයින් බුදුදහම, ‘බෞද්ධ දර්ශනය’ නිරවුල් ලෙස දතුවකු නොවිය හැකිය. බුදුදහම නිරවුල් ලෙස දත් නියම ධර්ම ධරයකු, ධර්ම කථිකයකු වීමට නම් අභිධර්මය පිටකය උගත යුතුමය. අභිධර්මය නූගත් ධර්ම කථිකයාට නොයෙක් විට කරුණු වරදින්නේ ය. එබැවින් මහා ගෝසිංග සූත්‍ර අටුවාවෙහි මෙසේ කියා ඇත්තේ ය.
“සුඛුමං පන චිත්තන්තරං ඛන්ධන්තරං ධාතන්තරං ආයතනන්තරං ඣානොක්කන්තිකං ආරම්මණොක්කන්තිකං අංගවවත්ථානං ආරම්මණවවත්ථානං අංගසංකන්තං ආරම්මණසංකන්තං එකතො වඩ්ඪනං උභතො වඩ්ඪනන්ති ආභිධම්මික ධම්මකථිකස්සෙව පාකටං, අනභිධම්මිකො හි ධම්මං කථෙන්තො අයං සකවාදො අයං පරවාදොති න ජානාති, සකවාදං දීපෙස්සාමිති පරවාදං දීපෙති. පරවාදං දීපෙස්සාමීති සකවාදං දීපෙති. ධම්මන්තරං විසංවාදෙති. ආභිධම්මිකො සකවාදං සකවාදනියාමෙනෙව පරවාදං පරවාදනියාමෙනෙච දීපෙති. ධම්මන්තරං න විසංවාදෙති.” ආභිධර්මිකයන් හා අනභිධර්මිකයන් ගැන අත්ථසාලිනි අටුවාවෙහි ද මෙසේ දක්වා ඇත්තේ ය.
“ආභිධම්මික භික්‍ඛුයෙව කිර ධම්මකථිකා නාම, අවසෙසා ධම්මකථං කථෙන්තාපි න ධම්මකථිකා; කස්මා? තෙහි ධම්මං කථෙන්තා කම්මන්තරං විපාකන්තරං රූපාරූප පරිච්ඡේදං ධම්මන්තරං ආලොළෙත්වා කථෙන්ති. ආභිධම්මිකා පන ධම්මන්තරං අනාලොළෙන්ති. තස්මා ආභිධම්මිකො භික්‍ඛු ධම්මං කථෙතු වා මා වා පුච්ඡිත කාලෙ පන පඤ්හං කථෙස්සතීති. අයමෙව කිර එකන්තධම්මකථිකො නාම හොති.”
කරුණු මෙසේ හෙයින් බුදුදහම ගැන නිවැරැදි නිරවුල් දැනුමක් ඇති කර ගනු රිසි සැමදෙනාම අභිධර්ම පිටකය උගත යුතුය. අභිධර්ම පිටකය බුදුදහමෙහි ඉතා සාරවත් වූ ඉතා වටිනා කොටසය. එහෙත් අටුවාලියන කාලයේ දී අභිධර්මය අබුද්ධ දේශිතයකැයි කියන විතණ්ඩවාදීන් විසූ බව අත්ථසාලිනී අටුවාවෙහි නිදාන කථාවෙන් පෙනේ. එක්තරා ආභිධම්මික භික්‍ෂුවක් එසේ කියන විතණ්ඩවාදියකුගෙන් ප්‍රශ්න අසා නිරුත්තර කොට ඔහුගේ වාදය බිඳහෙලා නිග්‍රහ කළ අයුරු අත්ථසාලිනියේ 23 වැනි පිටුවේ දක්වා තිබේ.
දැනුදු බුදුදහම පහත් කොට දක්වනු කැමැති, අවුල් කරනු කැමැති, බෞද්ධයන්ගේ ආගම භක්තිය උපායෙන් නසනු කැමැති ඇතැම් යුරෝපීය පඬිවරු “අභිධර්ම පිටකය බුද්ධකාලයේ තිබුණේ නැත, පළමුවන දෙවන සංගායනාවලදීත් තිබුණේ නැත, එය බුද්ධ භාෂිතයක් නොවේය, එය ද්විතීය සංගායනාවට හා තෘතීය සංගායනාවට අතර කාලයේ දී සම්පාදනය කරන ලද්දකැයි සිතිය හැකි යැ”යි කියති. බුදුනටත් ඉහළින් යුරෝපීය පඬිවරයන් අභිවාදනය කරන අප රට ඇතැම් බෞද්ධයෝ ද ඒ මත පිළිගෙන මහලොකු දේවල් ලෙස තැන තැන පවසති. ඒ මත පිළිගත් එක්තරා ස්ථවිර නමක් දැන් අභිධර්මයේ අඩුතැන් පුරවන්නටත්, වැරැදි තැන් සකස් කරන්නටත් පටන්ගෙන තිබේ. එය මන්ත්‍රය නොදැන නයින් නටවන්නට යෑම වැනි භයානක ඵල ඇතිවිය හැකි වැඩක් බව ඒ ස්ථවිරතුමන්ට මතක් කරනු කැමැත්තෙමු.
තථාගතයන් වහන්සේ විසින් බුද්ධත්වයට පැමිණ සත්වන වසරේ දී අභිධර්ම පිටකය දේශනා කරනු ලැබූ බව අපේ පොත පතෙහි නොයෙක් තැන්වල සඳහන් වන ප්‍රසිද්ධ කරුණකි. විනය පිටකය ඇති වූයේ අභිධර්ම පිටකය ඇති වී වර්ෂ බොහෝ ගණනක් ගත වූ පසුවය. අභිධර්ම පිටකය දේශනය කළ කාලය වන විට සූත්‍ර පිටකයෙන් ද තිබෙන්නට ඇත්තේ සුළු කොටසකි. එබැවින් එකල විසූ බොහෝ භික්‍ෂූන් අභිධර්ම පිටකය භාවිත කරන්නට ඇතිවාට සැකයක් නැත. “අභිධර්ම පිටකයක් බුද්ධ කාලයේ නොතිබුණේ ය” යි කියන්නවුන් විසින්, එකල තිබුණේ යයි පිළිගනු ලබන සූත්‍ර, විනය පිටක දෙක්හි නොයෙක් තැන්වල අභිධර්මය ගැන සඳහන් වන්නේ, ඒ ධර්මය භික්‍ෂූන් අතර කෙලින්ම තිබුණු නිසා ය.
විනය පිටකයේ පාචිත්තිය පාළියෙහි 72 වැනි පචීතියෙහි අනාපත්ති වාරයේ සඳහන් වන පාඨයක් මෙසේ ය.
“අනාපත්ති න විවණ්ණේතු කාමො, ඉංඝ තාව සුත්තන්තේ වා ගාථායොවා අභිධම්මංවා පරියාපුණස්සු. පච්ඡා පි විනයං පරියාපුණිස්සතීති භණති.”
බුද්ධකාලයේ අභිධර්ම පිටකයක් නොතිබුණා නම් මේ සික පදය විස්තර කිරීමේ දී අභිධර්මයක් සඳහන් කරන්නට කරුණක් නැත.
තවද පාචිත්තිය පාළියේ භික්‍ඛුණී විභංගයේ ඡත්තුපාහන වග්ගයේ 12 වැනි සිකපද විස්තරයේ මෙසේ සඳහන් වේ.
“සුත්තන්තෙ ඔකාසං කාරාපෙත්වා විනයං වා අභිධම්මං වා පුච්ඡති, ආපත්ති පාචිත්තියස්ස.
විනයෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා අභිධම්මං වා පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස.
අභිධම්මෙ ඔකාසං කාරාපෙත්වා සුත්තන්තං වා විනයං වා පුච්ඡති ආපත්ති පාචිත්තියස්ස.”
මේ පාඨයෙහි සුත්තන්ත – විනය – අභිධම්ම යන පිටක තුන ඉතා පැහැදිලි ලෙස දක්වා තිබේ. මේ පාඨවල අභිධම්ම යන වචනයෙන් කියන ධර්මය අභිධර්ම පිටකය හැර අනිකක් නම්, ඒ කුමක්ද කියා බුද්ධකාලයේ අභිධර්මය නොතිබුණේ යයි කියන්නවුන් දැක්විය යුතුය.
එසේ දක්වන්නට දෙයක් ඔවුනට නැත. සූත්‍ර, විනය පිටක දෙක්හි අභිධර්මය සඳහන් කර ඇති තවත් බොහෝ තැන් ඇතත් බුද්ධ කාලයේ අභිධර්මය නොතිබුණේය යන මිථ්‍යා මතය බිඳලීමට දැක් වූ විනය පාඨ දෙකම ප්‍රමාණවත් වන බැවින් ඒවා නොදක්වනු ලැබේ.
ප්‍රථම ද්විතීය සංගීතිවලදී පිටකත්‍රය ම සංගායනා කළ යුතු බව අටුවාවල හා තවත් පොත්පත්වලත් පැහැදිලි ලෙස ම දක්වා තිබේ. ඒ සංගායනාවලදී අභිධර්ම පිටකය සංගායනා නොකළ බවක් කොතැනකවත් සඳහන් කර නැත. අභිධර්මය ඒ සංගායනාවලදී සංගායනා නොකළ බව කියන්නවුන්ට ඒ බව ඔප්පු කිරීමට කිසිම ප්‍රබල සාධකයක් නැත. ඔවුන් ඒ ගැන දක්වන එකම සාධකය චූලවග්ග පාලියේ සංගීති කතාවල අභිධම්ම යන වචනය සඳහන් නොවීම පමණකි. චුලවග්ග පාලියේ සංගායනාව දක්වා තිබෙන්නේ ඉතා කෙටියෙනි. එහි
“එතෙනෙව උපායෙන පඤ්චපි නිකායෙ පුච්ඡි පුට්ඨො පුට්ඨො ආයස්මා ආනන්දො විස්සජ්ජෙසි”
යන පාඨයෙන් දක්වන්නේ අභිධර්ම පිටකයත් සංගායනා කළ බවය. අභිධර්ම පිටකය නිකාය පසින් ඛුද්ධක නිකායට අයත් ය. චූලවග්ග සංගීති කතාවෙහි අභිධර්මය යන වචනය සඳහන් වී නැත ද ඛන්ධකාවසානයෙහි දක්වා ඇති.
උපාලි විනයං පුච්ඡි - සූත්තන්තානන්ද පණ්ඩිතං
පිටකං තීණි සංගීතිං - අකංසු ජින සාවකා
යන උද්දාන ගාථාවෙන් පිටක තුනක් සංගායනා කළ බව දැක්වේ. අභිධර්ම පිටකය සංගායනා නොකළා නම් මේ ගාථාවෙන් කියන පිටක තුන මොනවාද? වැරැදුන තැනදී බොහෝ දෙනා කරන පරිදි ඕවා පසු කාලයේ දී ලියන ලද ඒවාය කියා ගැලවෙන්නට තැත් කරනවා මිස, මේ ප්‍රශ්නයේ දී පරවාදීන්ට කළ හැකි අනිකක් නම් නැත. තථාගතයන් වහන්සේ අභිධර්ම පිටකයෙහි වදාරා ඇත්තේ ඉතා ගැඹුරු ධර්මයන්ය. එකින් එක වෙන් කළ නොහෙන පරිදි බැඳි සමූහ වශයෙන් වහ වහා ඉපද ඉපද බිඳි බිඳී යන චිත්ත චෛතසික ධර්මයන් මේ මේය කියා විභාග කර දැක්වීම ලොව්තුරා බුදුවරුන්ට මිස සෙස්සන්ට කළ හැකියක් නොවේ. එබැවින් අභිධර්ම පිටකය ලොව්තුරා බුදු කෙනකුන් විසින්ම දේශනා කරනු ලබනවා මිස අනිකකුට සම්පාදනය නොකළ හැකිය.
සාමාන්‍ය ලෝකයාට විෂය නොවන ගැඹුරු ධර්මයන් විභාග කොට දක්වන අභිධර්ම පිටකය යමෙකුට සම්පාදනය කළ හැකි වූයේ නම් එය සුළු කරුණක් නොව මහා ප්‍රාතිහාර්යයකි. එබඳු මහත් දෙයක් කළ තැනැත්තකුට ඒ ග්‍රන්ථ බුද්ධ දේශනාවක් ලෙස ඉදිරිපත් කොට සැඟවෙන්නට කිසිම කරුණක් නැත.
අභිධර්ම පිටකය සම්පාදනය කළහයි කියන කාලයේ පොත් තිබුණේ නැත. ඒ කාලයේ ධර්ම ශාස්ත්‍රයන් පවත්වාගෙන ආයේ පාඩම් ඇතියකුගෙන් අසා පාඩම් කර ගැනීමේ ක්‍රමයෙනි. දීර්ඝ දෙයක් වන අභිධර්ම පිටකය සිය මුවින් ම කියා පිරිසකට පාඩම් කරවීමට දිගු කලක් වුවමනාය. බොරුවට ආයු මඳය. එබැවින් කෙනකුට අභිධර්ම පිටකය සම්පාදනය කර එය බුද්ධදේශනයක් ලෙස, රහස එළි නොවන ලෙස දිගු කලක් උගැන්වීම නොකළ හැකිය. යම්කිසි දවසකදී කාරණය ඒකාන්තයෙන් ප්‍රසිද්ධ වන්නේ ය. ඉන්පසු ඒ ධර්මය උගෙනීමට භික්‍ෂූන් නො වෙහෙසෙනවා ඇත. තමා විසින් යමක් සම්පාදනය කොට එය බුද්ධදේශනයක් ලෙස රටට දීම බරපතළ වරදකි.
අභිධර්ම පිටකය වැනි විශාල දෙයක් පිළියෙළ කොට යමෙකු විසින් එය බුද්ධදේශනාවක් ලෙස ප්‍රකාශ කරන්නට පටන්ගතහොත් එය ඉතිහාස ගතවන අපරාධයකි. මෙතරම් මහත් වංචාවක් යමකු විසින් කරන ලද නම්, ඒකාන්තයෙන් එය හෙළි වන්නේ ය.එහෙත් අභිධර්මය බුද්ධදේශනයක් නොවෙතියි කියන කිසිවකු අභිධර්ම පිටකය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කිරීමට සමත් වී නැත. එයින් පෙනෙන්නේ අභිධර්මය බුද්ධ දේශනයක් නොවේ යයි කීම ම බොරුවක් බවය. අභිධර්මය අබුද්ධ දේශනයක් බව ඔප්පු කරන්නට නම් එය සම්පාදනය කළ තැනැත්තා ඉදිරිපත් කළ යුතුය. බුද්ධදේශනාවකැයි කියා ඒ ධර්මය සම්පාදනය කිරීමේ හේතුව දැක්විය යුතුය.
මුලින් සම්පාදනය කළ තැනැත්තා ගෙන් අභිධර්මය උගත් භික්‍ෂූන් සම්පාදකයාගේ නම යටපත් කොට එය බුද්ධ දේශනාවක් ලෙස ප්‍රකාශ කරන්නට පටන් ගත්තා නම් එය වංචාවක් පමණක් නොව ගුරුද්‍රෝහීකමක් ද වන අපරාධයකි. කිසිම ප්‍රයෝජනයක් නැතිව එබඳු අපරාධයක් භික්‍ෂූන් විසින් කරන ලදැයි පිළිගැනීමට කරුණක් නැත.
අභිධර්ම පිටකය ප්‍රථම ද්විතීය සංගායනාවලදී සංගීත නොවූ බව කියන අය තෘතීය සංගායනාවේ දී එය සංගීත වූ බව පිළිගනිති. විනය අටුවා කියන හැටියට ඒ සංගීතිය ත්‍රිපිටකධාරී රහතන් වහන්සේ දහසක් විසින් කරන ලද්දකි. ඒ රහත්හු බුද්ධ දේශනයකැයි රැවටී අභිධර්මය උගත්තෝද? නැතහොත් උන්වහන්සේ බුද්ධභාෂිතයක් නොවන බව දැන ගෙනම එය බුද්ධභාෂිතයක් වශයෙන් සංගායනා කළෝද? නැතහොත් විනය අටුවාවෙහි සඳහන් වන ඒ පුවත බොරුවක් ද? බොරුවක් නම් එය විනය අටුවාවට ඇතුළත් කළේ කුමටද? යන මේ ප්‍රශ්න විසැඳීම අභිධර්මය අබුද්ධදේශිතයක් බව කියන භවතුන්ට භාර කරමු.

Sathpurusha Dana


Karmaya


Monday, February 18, 2013

දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හා ඒවා ලැබීමට කල කුසල කර්ම


සිත නිසා උපදින සක්වල

31 භූමි තලයකින් යුත් එක් සක්වලක් තුල මනුෂ්‍ය භූමිය අපගේ වාසස්ථානයයි. භෞතික හෙවත් ඇසට පෙනෙන නොපෙනෙන ලෝක වලින්, ලෝක විනාශයකදී රික්තය බවට පත්වන තෙක් මේ 31 තලයම විනාශ නොවේ. ප්‍රථම ධ්‍යානයට අදාල ඉහලම බ්‍රහ්ම ලෝකය වන මහාබ්‍රහ්ම ලොව දක්වා භූමි තල පමණක්  (නිරූපණයේ අංක 14 දක්වා පමණි, එනම් භූමි තල 14ක් පමණි) කිසිවක් ඉතිරි නොවන සේ වැනසී යයි. එය සිදුවන්නේ සතර මහා භූතයන් එකිනෙක හා ඇති සම්බන්ධය අත් හැරීමත් සමඟය ( ගින්න, ජලය, සුළඟ  සියල්ල යනු මෙය සිදුවන භූත ප්‍රකෝපයන්ගේ වෙනස් ආකාරයන්ය ) . විනාශ වීම එක් සක්වලකට පමණක් සීමා වන්නේද නැත. එකිනෙකට යාව පිහිටි කෝටි ලක්ෂයක් සක්වලම ( එනම් ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව )  ඉහත කියන මායිම තෙක් සියළු භූමි තල (එනම් භූමි තල 14X1000,000,000 = 14X10^9) එකම ආකාරයකට විනාශයට පත්වේ ( කොපමණ කාලයක් තිස්සේද යන්න දේශනාවේ සඳහන් වේ ).
සැ:යු:
  • සහශ්‍රී ලෝක ධාතුව =  සක්වල 1000 = සක්වල 10^3 – බුද්ධ ශ්‍රාවක ආඥා පැතිරිය හැකි ක්ෂේත්‍රය
  • ද්වී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල 1000X1000 = සක්වල 10^6 – බුද්ධ උප්පතිආදියෙහි මංගල ලකුණු පහල වන ජාති ක්ෂේත්‍රය
  • ත්‍රී සහශ්‍රී ලෝක ධාතුව = සක්වල  1000X1000X1000 = සක්වල 10^9 – බුදුන් ගේ ආඥාව බලපවත්වන ආඥා ක්ෂේත්‍රය
  • අනන්ත ලෝක ධාතුව – බුදුන් වහන්සේගේ දැනීමට ඇතුලත් වන විෂය ක්ෂේත්‍රය
(විස්තර සූවිසි මහා ගුණය -  පරම පූජණීය  රේරුකානේ මාහිමි සම්පාදිත පොතේ ලෝකවිදූ ගුණය පැහැදිළි කිරීම ඇසුරිනි )
මෙසේ ඇතිවන හිස් අවකාශය කල්පයක් (අන්තඃ කල්ප 20ක්) තිස්සේ පවතී. ඉන්පසු විනාශ නොවූ බඹ තල වල අනන්ත ලෙස සිටිනා  චුත වීමට නියමිත ආනුභාව සම්පන්න බ්‍රහ්මයන්ගේ ලෝභ සිත්වල බලය ඔවුන්ගේ සිතේ ඇති ලෙස අභිනව භූමි තල උපදවන ආකාරය මෙම ධර්ම දේශනය අපූරුවට විස්තර කරදෙයි.  චුත වීමට ආසන්න, අපි මෙන්ම අනන්ත සසරේ සිරවී ඇති අසරණ බ්‍රහ්මයෝ පිරිසක් හැර. මෙය කල හැකි වෙනත් සර්වබලධාරියෙක් නැත. මායා වරුන්ට කිව හැකි ලෝක විනාශයක්ද නැත.


අඩ හෝරාවක් පොහොය පෙහෙවස් රැකීමෙන් රාජ්‍ය සම්පත්තිය වුව ලැබිය හැකි වග.

පෙර එක් බුදු සසුනක් පැවති කල අප මහා බෝධි සත්වයන් වහන්සේ දුප්පත් ගොවි දරුවෙක්ව උපන්හ. මෙම ගොවි දරුවා එවකට පැවති සම්බුදු සසුන ගැන අසා හෝ නොතිබිණි. රැකියාවක් සොයමින් යන අතර සිටු මැදුරක් වෙතින් රැකියාවක් ලැබුණි. සිටු පවුලට අයත් කුඹුර සී සෑම එම රැකියාවයි.
උදෑසනින්ම කුඹුරට නික්මුන ගොවි දරුවා ඉර මුදුන් වනතෙක් ඉතා වෙහෙස වී තනිවම වැඩ කලේය. දිවා ආහාරය කිසිවෙකුත් නොගෙනා බැවිනුත් කුසගිනි දැඩිව නැගුනු බැවිනුත් ආහාර ලබා ගැනීම පිණිස සිටු මැදුර වෙත පිටත් විය.
සිටු මැදුර වෙත ගිය නමුත් කලින් පෙනෙන්නට සිටි කිසිවෙකුත් දැක ගත නොහැකි විය. කුස්සියේ මෙහෙකරුවන් ඇතුළු බහුතරයක් දෙනා නොමැති බැවින් සිටි අයෙක්ගෙන් ඒ පිළිබඳ විමසා බැලුවේය. “ඇයි දරුව අද පසලොස්වක පොහොය දිනයනෙ? සියළු දෙනාම උදෙන්ම කල හැකි සියල්ල කර තබා පෙහෙවස් සමාදන්වීම පිණිස පන්සලට ගියානේ” යැයි පිළිතුරු ලැබිණි. එවිට පාරමී පුරමින් එන බෝධි සත්වයන් වහන්සේට වහාම පහල වූ කල්පනාව වූයේ “මෙතරම් සෙනඟක් සමාදම් වන යමක් ඇත්නම් ඒකාන්තයෙන්ම ඉතාම උතුම් දෙයක් වියයුතුමය. එසේනම් විස්තර අසා මටත් සමාදම් වීමට හොඳයි නේ” යනුවෙනි.
ඉන්පසු පෙහෙවස් සමාදම් වීම යනු කුමක්දැයි විස්තර සහිතව අසාගත් අප මහා බෝධිසත්වයෝ ඉර අවරට යෑමෙන් පසු ආහාර ගැනීමත් නුසුදුසු බව දැන, තමාගේ දිවා ආහාරය පවා ප්‍රතික්ෂේප කරමින් තමාම පෙහෙවස් සමාදන් වී සිටු මැදුරේ පිළේ වාඩිවිය. දවසින් භාගයක්ම ඉතා වෙහෙස වී සිටි බෝධිසත්වයෝ ආහාර නොමැති කමෙන් අඩ හෝරාවක් පමණ වන විට ඉතාම ආසාධ්‍ය තත්වයට පත්වී නමුත් තම ශීලය ගැන සතුටින් වැටී සිටියහ.
මෙම අවස්ථාවේ රටේ රජතුමා හා බිසව දිව්‍යමය සිරියකින් යුතු පෙරහැරකින් ඇතු පිටින්  වීදි සංචාරයක් කරමින් එම සිටු මැදුර ඉදිරිපිටින් යාමට ආවේය. අප බෝධි සත්වයෝ තව දුරටත් දුබල වෙමින් සිටි අතර එම පෙරෙහැරේ පැමිණෙමින් සිටි රජ යුවල දෙස බලමින් සිය අවසන් හුස්ම හෙළුවේය.
පොහොය පෙහෙවස් සමාදන් වෙමින් දස කුශල කර්මයන්ගෙන් එකක් වන ශීලයේ පිහිටමින් සිටින අතර ඉතා ප්‍රසන්න චුතියක් ලත් එතුමාට ඊලඟ චිත්තක්ෂණයේදී ප්‍රතිසන්ධි චිත්තය පහලවූයේ පෙරෙහරේ ගමන්කරමින් සිටි රජ බිසවගේ කුසයේයි.
රජ යුවලගේ එකම දරුවා වූ බෝධිසත්වයෝ සිය පෙර භවයන් දැකීමේ ප්‍රඥාව පවා ලත්ව උපන්නේය. සිය පෙර භවයේ තමන්ගේ ඉතා දුක්ඛිත තත්වයත් දැන් තමා ලබා ඇති රාජ සම්පත්තියේ වෙනසත්, අභිනව තත්වය ලැබීම තමාට කෙසේ වූව්යේදැයි යන්නත් එතුමා ඉතා පැහැදිළිව දුටුවේය. ඉන්පසු රටේ රජ වූ අප මහා බෝධිසත්වයෝ අඩ හෝරාවක් පෙහෙවස් රැකීමෙන් තමා රාජ සම්පත්තිය ලැබූ අයුරු සිය රට වැසියාට පැහැදිළි කර දෙමින් බොහෝ සත්වයෝ පොහොය පෙහෙවස් සමාදම් කරවීමට පමණක් නොව නිති සිල් රැක්කවීමටත් සමත් විය. එයින් බොහෝ වැසියෝ පල ලබා ගැනීමට වාසනාවන්ත විය.
 

~-ලෝ වැඩ සඟරාව-~

 කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ     ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක්   දුරලන්නේ
කිම මිනිසුනි වීරිය      නොකරන්නේ
~-ලෝ වැඩ සඟරාව-~